
රන් භාණ්ඩ සොරකම් කළැයි වරද භාරගන්නා ලෙස බලපෑම් කරමින් පොලිසිය තුළදී 11 හැවිරිදි දැරියක කෲර වධ හිංසනයන්ට භාජනය කිරීමක් සම්බන්ධයෙන් මත්තේගොඩ පොලිසියට එරෙහිව පුළුල් විමර්ශනයක් ආරම්භ කළ බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, අධිකරණයට දන්වා සිටියේය.
එක් පොලිස් නිලධාරියකු දැරියගේ නළල මිරිකා වරද භාරගන්නා ලෙස බල කර ඇතැයි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත දන්වා සිටි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, මෙම සිද්ධියට සම්බන්ධ නිලධාරීන් කවුද? සෙවීමට විමර්ශන කරන බව දන්වා සිටියේය.
රුපියල් ලක්ෂ 5ක පමණ රන් භාණ්ඩ සොරාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ දැරියගේ නැන්දා විසින් මත්තේගොඩ පොලිසිය වෙත පැමිණිල්ලක් කර තිබෙන බවත්, එම පැමිණිල්ලට අදාළව 11 හැවිරිදි දැරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයිද ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේය. නමුත් පොලිසිය විසින් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමේදී සටහන් කරන ලේඛනවල දැරියගේ තොරතුරු ඇතුළත් කර නොමැති බවද දන්වා සිටියේය.
අදාළ දැරිය රන් භාණ්ඩ සොරකම සිදුවන අවස්ථාවේදී පාසලේ සිටි බවට,
පන්නිපිටිය ප්‍රදේශයේ විදුහලකින් වාර්තාවක්ද ඉදිරිපත් කර ඇතැයි දන්වා සිටි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන් දැරිය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු මත්තේගොඩ පොලිසිය විසින් කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත වාර්තා කර ඇතැයිද දන්වා සිටියේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත නියම කළේය.
ඉෂාර රත්නකාර
Comments
Post a Comment
Your comment will be visible after approval