panadura-incident

වයස අවුරුදු 11 දැරියකට ස්ත්‍රී දූෂණයක් සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ සැකකරුවකු වරදකරු කරමින් පානදුර  මහාධිකරණ විනිසුරු සමන් කුමාර මහතා වසර 15 ක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කළේය. 50 හැවිරිදි  පුද්ගලයකුට මෙසේ සිරදඬුවම් ඊයේ (15) වැනිදා නියම කෙරිණි.

සිර දඬුවමට අමතරව රුපියල් 5000 ක දඩයක් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එකී දඩ මුදල නොගෙවන්නේ නම් තවත් මාසයක බරපතළ වැඩසහිත සිරදඬුවමක් නියම කළේය.

විත්තිකරු 2007 ජුනි මස 01 හෝ ඊට  ආසන්න දිනක එවකට එකොළොස් හැවිරිදි දැරියකව සිටි සිය බිරියගේ පළමු කසාදයේ දියණියට ස්ත්‍රී දූෂණයක් කිරීම සම්බන්ධයෙන් ඉංගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන හොරණ මහේස්ත්‍රාත් අධිකරණයේ  මූලික සාක්කි ගොනු කිරීමෙන් පසු නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.

සැකකරු ස්ත්‍රී දූෂණයට ලක්කර ඇත්තේ සිය බිරියගේ පෙර කසාදයේ දියණියක බවත්, පිය සෙනෙහස ලැබිය යුතු දැරියක දූෂණය කර ඇති බවින් සමාජයට පණිවුඩයක් ගෙන දෙන ආකාරයේ උපරිම දඬුවමක් නියම කරන ලෙස පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ අකලංක බාලපට බැඳි මහතා මහාධිකරණයෙන් ඉල්ලා සිටියේය.
සුමිත් පොතුපිටිය