pakistan-asia-cup

පාකිස්තානයට ආසියානු කුසලාන සත්කාරකත්වය ලබා නොදුනහොත් සහ අවම වශයෙන් තරග කිහිපයක් හෝ තම රටේ පැවැත්වීමට ඉඩ ලබා නොදුනහොත් ඔවුන් තරගාවලියෙන් ඉවත්වීමට සූදානම් බව පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති නජාම් සේති පවසයි. ඊට ප්‍රතිචාර දක්වමින් කෙටි දැනුම්දීමකින් මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සත්කාරකත්වය දැක්වීමට හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ආසියානු ක්‍රිකට් කවුන්සිල බලධාරීන්ට දැනුම්දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය පැවති දිනයේ සත්කාරකත්වය සහ පාකිස්තානය ඉදිරිපත් කර ඇති හයිබ්‍රිඩ් මොඩලය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණු අතර, ඊට ඉන්දියාවට අමතරව ශ්‍රී ලංකා, බංග්ලාදේශ සහ ඇෆ්ගනිස්තානු ක්‍රිකට් බලධාහුද එක්ව සිටියහ.



කෙසේ වෙතත් ඉන්දීය-පාකිස්තානු කඹ ඇදිල්ල නිසා සත්කාරකත්වය පිළිබඳව අවසන් තීරණයක් තවමත් ගෙන නොමැත. මෙම තරගාවලියේ සත්කාරකත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ආසියානු ක්‍රිකට් කවුන්සිල නිලධාන්ගේ හමුවක් වහාම කැඳවීමට තීරණය කර තිබුණද එය පැවැත්වෙන දිනයක් තවමත් ප්‍රකාශයට පත්කර නොමැත. 'ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෙටි දැනුම්දීමකින් ආසියානු කුසලානය පැවැත්වීමට සූදානම්. දැන් තීරණය ආසියානු ක්‍රිකට් කවුන්සිලය සතුයි'. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරියෙක් 'ක්‍රික්බස්' වෙත පවසා තිබුණි.

ආසියානු කුසලාන තරගාවලියේ තරග පාකිස්තානයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට (හයිබ්‍රිඩ් මොඩලය) පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය කළ යෝජනාවට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අඛණ්ඩව සිය විරෝධය පළ කරමින් සිටියි. එම විරෝධයට පක්ෂ වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට සිය සහාය පළ කර ඇත්තේ 'අපි BCCI සමග යනවා' යනුවෙන් පවසමිනි.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ ආසියානු ක්‍රිකට් කවුන්සිල නිලධාරීන්ගේ හමුවක් අපේක්ෂා කෙරේ.

මීට අමතරව ඉන්දියාවේ මෙම තීරණයට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සහ ඇෆ්ගනිස්තානු ක්‍රිකට් මණ්ඩලයේද සහාය හිමිව ඇත. ඒ අනුව පාකිස්තානය මෙම ගැටලුවේදී ආසියානු ක්‍රිකට් කවුන්සිලය තුළ පැහැදිලිවම හුදකලා වෙමින් පවතී. අයිපීඑල් අවසන් මහා තරගය පැවති දිනයේදී එමිරේට්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය සහ නේපාල ක්‍රිකට් සංගමය වැනි ටෙස්ට් නොවන සාමාජිකයන් සමගද තරගාවලිය සම්බන්ධයෙන් අවිධිමත් සාකච්ඡා පවත්වා තිබුණි.

පැතූම් ශ්‍රී විජේරත්න