සමූපාකාර රක්ෂණ සමාගමෙහි (Co-operative Insurance PLC) නව සභාපතිවරයා ලෙස වැඩ භාර ගැනීමට කොළඹ පිහිටි එහි ප්‍රධාන කාර්යාලයට යමින් සිටි දර්ශන සමරවික්‍රම නමැත්තෙකු වෙත ඊයේ (05දා) නාදුනන වෙඩික්කරුවන් දෙදෙනකු එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් ඔහු තුවාල ලබා ඇතැයි මීගොඩ පොලිසිය පවසයි. පාදුක්ක, වල්පිට තිසර උයන ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුව තිබේ. වෙඩි තැබීමේ සිදුවීමෙන් තුවාල ලබා ඇති නව සභාපතිවරයා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබේ. එහිදී ඔහු ශල්‍යකර්මයකටද භාප්නය කළ බව පොලීසිය පවසා සිටියි.

62 හැවිරිදි වියේ පසුවන සමරවික්‍රම මහතා, පාදුක්ක, වටවල, තිරසර උයන ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර,

ඔහු මෙම සභාපති ධුර පත්වීම ලැබීමට පෙර එම සමාගමෙහි උපසභාපතිවරයා ලෙසද කටයුතු කළේය. යතුරුපැදියකින් පැමිණි මෙම නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙලෙස දර්ශන සමරවික්‍රම මහතාගේ නිවස ආසන්නයේ පිහිටි වටවල, ගැමුණු මාවතේ පාළු ප්‍රදේශයකදී මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. මෙහිදී ඔවුන් වෙඩි ප්‍රහාර තුනක් එල්ල කර තිබේ. වෙඩි තැබීමෙන් අනතුරුව ඔවුන් පලා ගොස් ඇති අතර, ඔවුන් සොයා පරීක්ෂණ අරඹා ඇතැයි මීගොඩ  පොලීසිය සඳහන් කර සිටියි.

මෙතෙක් පළා ගිය සැකකරුවන් හඳුනාගෙන නොමැති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශන ක්‍රියාත්මක ආරම්භ කර ඇත.  කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත රක්ෂණ සමාගමක් වන සමූපාකාර රක්ෂණ සමාගම තුළ පසුගිය කාලසීමාවේදී අභ්‍යන්තර ගැටලු රැසක්ම පැවතුනි. ඒ අතරින් එම සමාගම එහි සංස්ථාපිත ප්‍රකාශනයේ සඳහන් ආකාරයට අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් පත් නොකිරීමේ චෝදනාව මත සමාගමෙහි සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාරික කටයුතු ජූනි 30 දක්වා අත්හිටුවිමට ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව පියවර ගෙන තිබුණි.

කෙසේ වෙතත් පසුගිය මැයි 25 වැනිදා රැස්වුණු එම කොමිෂන් සභාවේ 233 වැනි කමිටු රැස්වීම මගින් එම තහනම ඉවත් කරමින් මැයි 26 වැනිදා සිට බලාත්මක වන පරිදි යළිත් එම සමාගමට අදාළ සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යාමට අවස්ථාව ලබා දීම සිදු විය.

ඒ අතරතුරදීම එම සමාගම මෙම තහනම සඳහා හේතු වූ සිය අධ්‍යක්ෂ මණ්ඩලයේ සංයුතිය වෙනස් කිරීමක් සිදු කරන බව ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව වෙත සහ එහි කොටස්හිමිකරුවන් වෙත දැනුම් දී තිබුණි. මෙලෙස වර්තමාන සභාපතිවරයා ලෙස එහි උපසභාපතිවරයා වන දර්ශන සමරවික්‍රම මහතා පත් කිරීම එම අධ්‍යක්ෂ මණ්ඩල සංයුතියේ වෙනස් කමට අදාළ කටයුත්තක් විය හැකි බවත් වාර්තා පවසයි. ඒ අනුව නව තනතුර ලබාගැනීමට තවත් පාර්ශ්වයන් උත්සාහ දරා ඇති අතර, එය ව්‍යාර්ථ වීම මෙම වෙඩි තැබීමට හේතු වන්නට ඇද්ද යන්නත්, නැතහොත් වෙනත් හේතුවක් මත මෙම වෙඩිතැබීම සිදුවීද යන්නත් පිළිබඳව සෙවීමට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

එසේම දර්ශන සමරවික්‍රම මහතාට පසුගිය කාලසීමාවේදී මරණ තර්ජන එල්ල වෙමින් තිබූ බවත්, සමාගමේ අනෙකුත් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් කිහිපදෙනෙකු සහ ඔහු සම්බන්ධයෙන් අධිකරණ කටයුත්තක් ක්‍රියාත්මකව පැවැති ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ඊයේ පවසා සිටියේය. මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මීගොඩ පොලීසියේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නෙවිල් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත මීගොඩ පොලීසියේ නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
 මනීෂා චන්ද්‍රගුප්ත