lpl-asalanka

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිවුවැනි වරට සංවිධානය කරන ලංකා ප්‍රිමියර් ලීග්(එල්.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය කොළඹ ෂැන්ගිලා හෝටලයේදී ඊයේ (14දා) පැවැති අතර, එහිදී ඉහළම වටිනාකමකට අලෙවි වූ ක්‍රීඩකයා බවට චරිත් අසලංක පත්විය. ඔහු ඇ.ඩො. 80,000කට හෙවත් රුපියල් කෝටි 2.5ක මුදලකට ජැග්නා කිංග්ස් කණ්ඩායම විසින් මිලදී ගත්තේය. ධනංජය ද සිල්වා මෙහි දෙවැනි වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා වූ අතර, ඔහු ඇ.ඩො. 76,000කට (රු.කෝ. 2.4) දඹුල්ල ඕරා කණ්ඩායම විසින් මිලදී ගත්තේය. එමෙන්ම මෙහි තෙවැනි වැඩිම වටිනාකම දිනේෂ් චන්දිමාල්ට හිමි වූ අතර, ඔහු ඩොලර් 720,00කට (රු.කෝ. 2.3) බී-ලව් කැන්ඩ් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබීය.

මෙම වෙන්දේසියේ වැඩිම මුදලකට අලෙවි වූ විදෙස් ක්‍රීඩකයා පාකිස්තානයේ ෂොයිබ් මලික් වූ අතර, ඔහු මීට ඉහතදීද ක්‍රීඩා කළ ජැග්නා කිංග්ස් විසින්ම ඇ.ඩො. 50,000කට (රු.කෝ. 1.6) මිලදී ගැනිණ.මේ අතර මෙහිදී වැඩිම මිලකට අලෙවි වූ යොවුන් ක්‍රීඩකයා වූයේ දුනිත් වෙල්ලාලගේය.

ඩොලර් 30,000ක මූලික වටිනාකමක් හිමිව සිටි ඔහු ඩොලර් 56,000කට(රු.කෝ. 1.79) ජැග්නා කිංග්ස් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබීය. කෙසේ නමුත් ඊයේ (14දා) රාත්‍රී. 7.00 වනවිට පැවැති තත්ත්වය අනුව මෙම ක්‍රීඩක වෙන්දේසියේදී අලෙවි වී තිබුණේ විදෙස් ක්‍රීඩකයන් කිහිප දෙනෙකු පමණක් වූ අතර, කණ්ඩායම් හිමිකරුවන් වැඩි ප්‍රමුඛතාවක් ලබාදී තිබුණේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මිලදී ගැනීමටය. විශේෂයෙන් ජනප්‍රිය ක්‍රිකට් තරු රැසකගේම නම් වෙන්දේසියේදී කියවුණද, ඉන් බොහෝ දෙනෙකු මිලදී ගැනීම කණ්ඩායම් හිමිකරුවන් විසින් ප්‍රතික්‍ෂේප කරන ලදි.

බංග්ලාදේශ ප්‍රහාරාත්මක පිතිකරු යුගලයක් වූ තමිම් ඉක්බාල් හා ලිටන් දාස්, අයර්ලන්තයේ පෝල් ස්ටර්ලිං, සිම්බාබ්වේ සිකන්දර් රාසා, නවසීලන්තයේ ටිම් සීෆර් හා මාටින් ගප්ටිල් අලෙවි නොවූ විදෙස් ක්‍රීඩකයන් අතර වූහ.එල්.පී.එල්. ඉතිහාසයේ පළමු ක්‍රීඩක වෙන්දේසිය වූ මෙය ඊයේ සවස 3.00ට ආරම්භ විය. වට 51කින් සමන්විත මෙම වෙන්දේසියට දෙස් විදෙස් ක්‍රීඩකයන් 360ක් නම්කර තිබුණි. මෙම වෙන්දේසියෙන් එක් කණ්ඩායමක් විදෙස් ක්‍රීඩකයන් සිවුදෙනෙකු ඇතුළුව අවම ක්‍රීඩකයන් 16ක් මිලදී ගත යුතු අතර, උපරිම ක්‍රීඩකයන් 20ක් මිලදී ගැනීමේ හැකියාව තිබුණි.

කෙසේ නමුත් එක් කණ්ඩායමකට ක්‍රීඩක මිලදී ගැනීම් සඳහා ඇ.ඩො. ලක්‍ෂ 05ක (රු.කෝ. 15) මුදලක් පමණක් වැය කළ හැකි අතර, ඒ අනුව තරගාවලියට සහභාගි වන කණ්ඩායම් 5ට ක්‍රීඩකයන් මිලදී ගැනීම් සඳහා වැය කළ හැකි මුළු මුදල වූයේ ඇ.ඩො. මිලියන 2.5කි (රු.කෝ. 75).  මෙම වෙන්දේසිය මෙහෙයවනු ලැබුවේ ඉන්දීය ප්‍රවීණ නිවේදකයෙකු වන චාරු ෂර්මා විසිනි. ඊයේ (14දා) සවස 7.00 වනවිට ඒ ඒ කණ්ඩායම් විසින් මිලදීගෙන සිටි ක්‍රීඩකයන්, ඔවුන් අලෙවි වූ වටිනාකම්(ඇමරිකානු ඩොලර්) හා වෙන්දේසියට පෙර ඍජුව ගිවිසුම් ගතව සිටි ක්‍රීඩක ලැයිස්තුවක් පහතින් දැක්වෙයි.
 සංජිව ධර්මසේන