cope-reveal

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සිය පනත් උල්ලංඝනය කරමින් කැණීම් බලපත්‍ර නිකුත් කරන්නේ පරිසර ඇමැතිවරයාගේ අනුමැතියට ලිපි ගොනුව යැවීමෙන් අනතුරුව බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප් කමිටුවේදී) අනාවරණය විය.

කැණීම් බලපත්‍ර නිකුත් කිරීමට අදාළ ලිපිගොනු කාර්යාංශයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් විසින් ඇමැතිවරයාගේ අනුමැතියට යවන බවත්, මෙය පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා නොදන්නා බවත් කෝප් කමිටුවේදී හෙළිදරව් විය.

මෙහිදී කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය රංජිත් බණ්ඩාර ඇතුළු සාමාජිකයන් සඳහන් කළේ භූ විද්‍යා සමීක්ෂණ කාර්යාංශය කටයුතු කරන ආකාරය කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි බවත්, මෙම තත්ත්වයට කාර්යාංශයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයාද වගකිවයුතු බවත්ය.



කාර්යාංශය විසින් කැණීම් බලපත්‍ර නිකුත් කරනු ලබන්නේ අනීතික අයුරින් බවද, කෝප් කමිටුව ලබාදී තිබෙන කිසිදු නිර්දේශයක් කාර්යාංශය විසින් ක්‍රියාත්මක කර නැතැයි ද මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රි මධුර විතානගේ පැවසීය.

කැණීම් සිදු කිරීමෙන් පසුව වළවල් බොහොමයක් වසා දමා නොතිබීම සහ බලපත්‍ර නිකුත් කරන ලද පුද්ගලයින් පිළිබඳ තොරතුරු කාර්යාංශය සතුව නොමැති වීම පිළිබඳව ද කෝප් කමිටුවේදී කතාබහට ලක්විය.

ඛනිජ ගවේෂණය සඳහා බලපත්‍ර ලබාගත් ආයතනවල බලපත්‍ර මේ වනවිට කාර්යාංශය විසින් තහනම් කර තිබෙන බවත්, ඇතැම් විදෙස් සමාගම් ඛනිජ ගවේෂණය සඳහා රුපියල් මිලියන 100කට අධික මුදලක් වෙන්කර තිබෙන බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ කීවේය. තවද, අදාළ කැණීම් භූමි වෙනත් පිරිසකට විශාල මුදලකට ලබාදීම සඳහා මෙලෙස ගවේෂණ කටයුතු තහනම් කර තිබෙන බවද මෙවැනි තත්ත්වයක් පවතිද්දී කිසිදු විදෙස් ආයෝජකයකු මෙරටට නොපැමිණෙනු ඇතැයි ද මන්ත්‍රිවරයා පැවසීය.

මෙහිදී පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියේ කාර්යාංශයේ හිටපු සභාපතිවරයාගේ කාලයේදී මෙම තීරණය ගෙන තිබෙන බවත්, අදාළ ගවේෂණ බලපත්‍ර අහෝසි කිරීම සම්බන්ධයෙන් තමාගේ කිසිදු සතුටක් නොමැති බවත්ය.
සාලිය කුමාර ගුණසේකර