cancer-hospital-issue

රුපියල් කෝටි හතරකට ආසන්න මුදලක් වැය කර මහරගම අපේක්ෂා රෝහලට මිලදීගත් ස්වයංක්‍රීය එන්නත්කරණ යන්ත්‍රය මාස හයක පමණ සිට අක්‍රීය වීමෙන් එන්නත් අපේක්ෂාවෙන් පසුවන රෝගීන් දැඩි දුෂ්කරතාවකට පත්ව ඇතැයි වාර්තා වේ. ඊට හේතු වී ඇත්තේ ස්වයංක්‍රීය එන්නත්කරණ යන්ත්‍රයට යොදන

එෆ්.ඩී.ජී. නමැති ප්‍රතියක රසායනික ද්‍රව්‍ය මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මුදල් ප්‍රතිපාදන ලබා නොදීම නිසා බව විකිරණ තාක්ෂණ වේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්ම වික්‍රම මහතා පැවැසීය. ඒ හේතුවෙන් පිළිකා රෝගීන්ගේ රෝග විනිශ්චය හා ඊට අදාළ ප්‍රතිකාර ක්‍රම සැලසුම්කරණ පෙට් ස්කෑනර් යන්ත්‍රය ද මේ වන විට සම්පූර්ණයෙන්ම පරීක්ෂණ කටයුතු නවතා දමා ඇති බවත් පිළිකා රෝගීන්ගේ පරීක්ෂණ නියමිත දිනට කර ගැනීමට නොහැකිව රෝගීන් දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති බවත් පැවසේ.

මෙම යන්ත්‍රය රුපියල් මිලියන 40ක් හෙවත් කෝටි හතරකට ආසන්න මුදලක් වැය කර සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මිලදී ගෙන ඇත්තේ මහරගම අපේක්ෂා රෝහලේ පරිහරණය සඳහාය.

එහෙත් වෙනත් රෝහල්වල ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන්ගේ පරීක්ෂණ කටයුතු ද තුළින් සිදුකර තිබිණි.එහෙත් 2021 වසරේ සිට විටින් විට එම එන්නත් භාවිත කරන සම්බන්ධක කරණය සඳහා කැතීටර සැපයුමට බාධා එල්ල වීම නිසා මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් පමණක් නොව වෙනත් රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් ද දුෂ්කරතාවට පත්ව ඇත. මේ අතර අදාළ ගැටලුවට හේතුව එෆ්.ඩී.ජී. ප්‍රතික්‍රීයක රසායනික ද්‍රව්‍ය මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මුදල් නොලැබීම නිසා බව රෝහල් බලධාරීන් තමන් සමඟ පැවසූ බව ද විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.

මීට අමතරව එෆ්.ඩී.ජී. ප්‍රතික්‍රීයක රසායනික ද්‍රව්‍ය සති තුනක පමණ සිට රෝහල වෙත සම්පූර්ණයෙන්ම ගෙන්වා නොමැති බවට ද ඔවුහු චෝදනා කරති. මේ අර්බුදකාරී තත්වය නිසා මහරගම අපේක්ෂා රෝහලේ බලධාරීන් විකිරණ තාක්ෂණවේදීන්ට උපදෙස් දී ඇත්තේ අදාළ එන්නත් රෝගීන්ට වෙන වෙනම අතින් දෙන ලෙසටයි. මේ තත්වය මත රෝගීන් හා විකිරණ ශිල්පීන් ද අවදානමකට ලක් විය හැකි බව ද ඔවුහු පවසති.

පිළිකා රෝගීන් යනු කායික, මානසික හා ආර්ථික වශයෙන් අපහසුතාවට පත්වූ රෝගීන් පිරිසක් ඔවුන්ගේ රෝග විනිශ්චය පෙට් ස්කෑනර් යන්ත්‍රය හරහා සිදු කිරීමෙන් අනතුරුව අදාළ එන්නත ස්වයංක්‍රීය එන්නත්කරණ යන්ත්‍රය හරහා ලබා දීමටයි පියවර ගැනෙන්නේ. එහෙත් මේ පහසුකම ලබාදීමට බලධාරීන් අපොහොසත් වීම රෝගීන්ට සිදු කරන බලවත් අසාධාරණයක් බව චානක ධර්ම වික්‍රම මහතා පෙන්වා දෙයි.

විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමය චෝදනා කර සිටින්නේ මෙම යන්ත්‍රයට අත්‍යවශ්‍ය සම්බන්ධක කැතීටර මිලදී ගැනීමට මුදල් ප්‍රතිපාදන ලබා දිය නොහැකි නම් රුපියල් කෝටි හතරක් වැයකර ස්වයංක්‍රීය එන්නත්කරණ යන්ත්‍රයක් මිලදී ගැනීමට තාක්ෂණ උපදෙස් ලබා දීම, ප්‍රසම්පාදන ක්‍රියාවලියකට යොමුවීම, මුදල් අනුමත කිරීම හා අදාළ යන්ත්‍රය මෙරටට ගෙන්වීමට කටයුතු කළ සියලු බලධාරීන්ගෙන් වැය වූ කෝටි හතරකට ආසන්න මුදල යළි අයකර ගැනීමට අවශ්‍ය පියවර ගත යුතු බවයි.

ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න