galle-harbour-incident

අද 01 බ්‍රහස්පතින්දා අලුයම් කාලයේදි සිංගප්පුරුවේ සිට අබුඩාබි දක්වා ගමන් කරමින් තිබූ නෞකාවක් ගාලු වරායට සැපයුම් ලබාගැනීමට පැමිණ තිබියදී සිදුවූ අනපේක්ෂිත අනතුරකින් විදෙස් ජාතිකයෙකු මියගිය බව පොලිසිය පවසයි.


මෙම නෞකාවේ ගමන් ගත් විදේශ ජාතිකයෙකු නෞකාව නැවැත්වූ අවස්ථාවේ ගාලු වරායේ ජැටියට බැසිමට යාමේදි මුහුදට වැටී ඇති අතර ඔහු දියේ ගිලෙමින් සිටියදී නාවික හමුදාවේ පිරිස් හා වරාය ආරක්ෂක නිලධාරින් බේරාගැනීමට කටයුතු කර තිබුණි.


ඔවුන් විදේශිකයා ගොඩට ගෙන කරාපිටිය රෝහලට ඇතුලත් කරන ලද නමුත් එසේ කරන විටත් මියගොස් ඇති බව ගාල්ල පොලිසිය පවසයි.
සිද්ධිය ගැන පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති අතර මියගොස් ඇත්තේ වයස අවුරුදු 61 ක් වූ ලිතුවේනියානු ජාතිකයෙකු බවට අනාවරණය වී ඇත.
මෘත ශරීරය කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. ගාල්ල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන හා ඉදිරි ක්‍රියාමාර්ග සිදුකරනු ලබයි.