tedros-who-speaks

ලෝකය මීළඟ දරුණු වසංගතයට සූදානම් විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අදානොම් ගෙබෙයේසුස් පවසයි. මෙහිදී මෙම වසංගතය COVID-19 වසංගතයටත් වඩා 'මාරාන්තික’ වසංගතයක් වන බවත් ඔහු අනතුරු අගවා සිටියි. මේ දිනවල ජිනීවා නුවරදී පැවැත්වෙන 76 වැනි ලෝක සෞසෞඛ්‍ය සම්මේලනය වෙත අදහස් දක්වමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව පවසා සිටියේය. එම සංවිධානය මගින් මෙම COVID-19 වසංගතය තවදුරටත් දරුණු වසංගතයක් නොවන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත්කර දින කිහිපයකට පසුව ඔහු මෙම අදහස් දැක්වීමත් විශේෂත්වයකි.

2019 වසරේ අගභාගයේදී හඳුනාගත් මෙම COVID-19 වෛරසය හේතුවෙන් මේ දක්වා ලොව පුරා රටවල් රැසක ලක්ෂ 70කට අධික පිරිසකට ජීවිත අහිමි වී තිබේ. අදටත් ඇතැම් රටවල මෙම වසංගතය පවතින අතර, දෛනිකව මරණද වාර්තා වෙමින් තිබේ."COVID-19 සම්බන්ධයෙන් වන ගෝලීය සොඛ්‍ය හදිසි තත්ත්වය ඉවත් කිරීම කියන්නේ මේ COVID-19 නිසා ඇති වුණු ගෝලීය සෞඛ්‍ය තර්ජනය නිමා වුණා කියන දේ නෙමෙයි. තවත් වෛරස ප්‍රභේදයක නැගී සිටීමක් ගැන අපිට තර්ජනයක් තිබෙනවා. මේ නැගීඑන තර්ජනය දැනට අපිට තිබෙන තර්ජනයටත් වඩා මාරාන්තික වේවි.” යනුවෙන් අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී සදහන් කර තිබේ.



කෙසේ වෙතත්, මෙවැනි වසංගත යනු ලෝකයා මුහුණදෙන තර්ජන අතරින් බොහෝ දුර ඈතක පවතින්නක් බවද ඔහු පෙන්වා දෙයි. එහෙත් මෙවැනි අනාගත වසංගත තර්ජනයක් සඳහා මුහුණදීමට බලපෑම් සහගත ගෝලීය යාන්ත්‍රණයක් පැවැතිය යුතු බව ඔහු මෙහිදී අවධාරණය කර තිබේ. "ඒ කියන්නේ මීළඟ වසංගතය අපේ ගෙදරට ඇවිත්තට්ටු කරන කොට අපිඒ වසංගතයට තීරණාත්මක ලෙස, එකමුතුව, එක සමානව පිළිතුරු දෙන්න සූදානම් වෙලා ඉන්න ඕනේ.” විශේෂයෙන්ම, මෙම COVID-19 වසංගතය හේතුවෙන් ගෝලීයව පැවතිය යුතු සෞඛ්‍ය හා සම්බන්ධ තිරසාර සංවර්ධන ඉලක්ක ක්‍රියාත්මක කිරීම පිළිබඳ අවධානය යොමු කෙරුණු බව ඔහු පෙන්වා දෙයි.

මෙම ඉලක්ක 2030 දී සම්පූර්ණ කිරීමට නියමිතව තිබුණත් වසංගතය නිසා ඒවා ඉක්මන් කෙරුණු බව ඔහුගේ අදහසයි. එසේම, 2017 වසරේදී ලෝක සෞඛ්‍ය සම්මේලනය මගින් ප්‍රකාශයට පත්කළ බිලියන ත්‍රිත්වයේ ඉලක්කය වෙතද මෙම වසංගතය බලපෑ බව ඔහු මතක් කරදී තිබේ. මෙම ඉලක්කය මගින් 2023 වසර වනවිට ගෝලීය ජනගහනයන් බිලියන තුනකගේ සෞඛ්‍ය තත්ත්වය දියුණු කිරීම අරමුණ විය. මේ අතර, විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන ආකාරයට අද වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් මහජන සෞඛ්‍යයට තර්ජනයක් විය හැකි ප්‍රධානතම රෝග වර්ග නවයක් පිළිබඳව හදනාගෙන තිබේ. විශේෂ්‍යයන්ම, මෙම රෝග සදහා වන සීමිත ප්‍රතිකාර හෝ එම රෝග වසංගතයක් බවට පත්වීමේ හැකියාව මේ අවදානම සදහා හේතුව වී තිබේ.



විශේෂයෙන්ම, COVID-19 වසංගතය අවස්ථාවේදී එම වසංගතයෙන් ආරක්ෂාවීම සදහා නිෂ්පාදනය කෙරුණු එන්නත් පිළිබඳ පර්යේෂණ පමාවීම මරණ අවදානම වැඩි කිරීමට හේතුවිය. එසේම නිෂ්පාදනය කෙරුණු එන්නත් පවා ලොව පුරා ජනතාව වෙත එක සමානව බෙදී නොයෑමත් දරුණු ගැටලුවක් විය. ඒ අනුව, ඉදිරි වසංගතයකදී මෙවැනි ගැටලු මඟහරවමින් ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීමක් වෙත සූදානම් විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදහස වී තිබේ.