sudarma-house-maid-dies

චිත්‍රපට හා ටෙලිනාට්‍ය නිෂ්පාදකවරියකගේ රන් මුදුවක් සොරා ගත්තේ යැයි කියන සිද්ධියකට අත්අඩංගුවට ගත් එම නිවසේ මෙහෙකාරිය මියයාම සම්බන්ධයෙන්  වැලිකඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ සාමාන්‍ය රාජකාරි සඳහා මාරු කර යවා ඇතැයි

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

මෙලෙස මාරුකර යවා ඇත්තේ ප්‍රධාන පොලිස් පරීක්ෂක චින්තක අනුරාධ මහතාය.

එම සිද්ධියට අදාළව උප පොලිස් පරීක්ෂකවරයෙක් පොලිස් සැරයන්වරුන් දෙදෙනකු සහ කොස්තාපල්වරයකු වැඩ තහනමට ලක් කරනු ලැබ ඇති තවත් කොස්තාපල්වරයකු සහ කොස්තාපල්වරියන් දෙදෙනකු ස්ථාන මාරු යවා ඇත. බදුල්ල මඩොල්සිම පදිංචිව සිටි ආර්. රාජ් කුමාරි (42) නමැති තිදරු මව ඉකුත් එකොළොස් වැනිදා මියගොස් ඇත. පොලිස් කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ගේ නිර්දේශය අනුව හා පොලිස්පතිවරයා විසින් එම මාරු කරනු ලැබ ඇත.

මෙහෙකාර කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ උපදෙස් මත විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණ පැවැත්වූ අතර විනය විරෝධී ක්‍රියාවක් සිදු වී ඇති බවට අනාවරණය වී තිබිණි. ඒ අනුව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් වැඩිදුර විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරනු ලැබීය.

බිමල් ශ්‍යාමන් ජයසිංහ