
කෑගල්ල රන්දෙණියේ පිහිටි අලි ගාලේදී අලි පැටවකුට පලතුරු දීමට යාමේදී හොඬවැලෙන් පහර දීමෙන් අලි ගාලේ වාහන රියැදුරකු ඉකුත් 26 වැනිදා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කෑගල්ල පොලීසිය පැවැසීය. මෙලෙස කෑගල්ල මහ රෝහලේ අංක 5 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින්නේ, කෑගල්ල හිරිවඩුන්න රන්දෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටින කපුරාලලාගේ සිරිවර්ධන නමැති 63 හැවිරිදි තැනැත්තකු බව පොලීසිය කියයි.
කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන පුද්ගලයා අලි ගාලේ වාහනයක රියැදුරුවරයකු ලෙසත්, ඔහුගේ පිරිමි දරුවා සංචාරක මග පෙන්වන්නකු ලෙසත් එම ස්ථානයේ සේවය කරන බව පොලීසිය පැවැසීය. මෙම අලි ගාලේ සිටින අවුරුදු 12ක් පමණ වන අලි පැටවාට ඉකුත් 26 වැනිදා සවස 3.00ට පමණ රියදුරුවරයා පලතුරු ලබා දීමට ගොස් ඇති බවත් පොලීසිය පැවැසීය.
මෙහිදී අලි පැටවා රියැදුරුට හොඬවැලෙන් පහර දී ඇති බවත්, එහිදී ඔහු බිමට වැටී ඇති බවත් පැවැසේ. බිමට වැටුණු රියැදුරුවරයා යළි අලි පැටවා අසලට ඇද ගැනීමට ගිය අවස්ථාවේ එම ස්ථානයේ සිටි පුද්ගලයකු ඔහු බේරාගෙන ඇති බවට තොරතුරු හෙළි වී යැයි පොලීසිය කියයි.
රියැදුරු තැලීම් තුවාල හේතුවෙන් කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, අලි පැටවා රැක බලා ගන්නා ඇත්ගොව්වා පහර දෙන අවස්ථාවේදී නොසිටි බවත් තොරතුරු අනාවරණය වී යැයි ද කියයි. රියැදුරුවරයා පලතුරු ලබා දීමට ගිය අවස්ථාවේදී පහර දීම සිදු කර ඇති බවත් පොලීසිය පැවැසීය. රියැදුරුගේ තත්ත්වය බරපතළ නොවන බවත් පොලීසිය පැවැසීය.
චමින්ද වැවතැන්න
Comments
Post a Comment
Your comment will be visible after approval