kudu-anju-france-wine

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රබලයකු මෙන්ම පාතාල නායකයකු වශයෙන් රතු නිවේදන නිකුත් කර ඇති සිංහාරගේ සමින්ද සිල්වා නොහොත් රත්මලාන කුඩු අංජු නමැත්තා ප්‍රංශයේ වයින් නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාවක් සහ ඩුබායිහි වතුර බෝතල් කර නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාවක් ඇතුළු ව්‍යාපාර ගණනාවක් පවත්වාගෙන යන අයකු බවට එම රටවලින් ලැබෙන විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැන ගැනීමට ඇත.



කුඩු අංජු නමැත්තා ප්‍රංශයේ සරණාගතයකු ලෙස ජීවත් වන බැවින් වෙනත් අයකුගේ නමින් මෙම කර්මාන්ත ශාලාව පවත්වාගෙන යන බවද එරටින් ලැබෙන ආරංචි මාර්ග වලින් දැන ගැනීමට ඇත. ඩුබායිහි වතුර බෝතල් කර විකිණීමේ කර්මාන්ත ශාලාවක් ද, ශරීර සුවතා මධ්‍යස්ථානයක්, සුපිරි ආපන ශාලාවක් සහ ගොඩනැගිලි සංකීර්ණයක් ද ඔහුට තිබෙන බව එම රටෙන් ලැබෙන විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. ඔහු එම ගොඩනැගිලි සංකීර්ණ කුලියට ලබා දී ඇතැයි  කියති.

මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සහ පාතාල අපරාධ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බවට සැලකෙන ඩුබායිවලට පලාගොස් සැඟව සිටින බටුවිට චාමර සහ ගල්කිස්සේ ජුඩ් නැමැත්තකු මෙම ව්‍යාපාර කටයුතුවලට හවුල් කරගෙන ඇති බවද එම ආරංචි මාර්ග වලින් දැන ගැනීමට ඇත. කුඩු අංජු නැමැත්තා ප්‍රංශ අධිකරණයක් මගින් මෙම මස 4 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත්කර ඇත.මේ අතර, කුඩු අංජු නමැත්තාගේ මෙරට වෙසෙන සමීපතම ගෝලයකු බව කියන අයකු ඔහුගේ මුහුණු පොතේ දෙවියන් වහන්සේ අපේ අංජු නිදහස් කළා යැයි සටහනක් තබා ඇතැයි බුද්ධි අංශ ආරංචි මාර්ග කියයි.



මෙවැනි සටහනක් තබා ඇති කුඩු අංජු නමැත්තාගේ සමීපතම ගෝලයා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ධනංජය සිල්වා මහතාගේ පියා වන රංජන් ද සිල්වා මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන කාලයක් රිමාන්ඩ් භාරයේ පසුවී ඇප මත මුදා හැර සිටින අයකු බව පොලිස් ආරංචි  මාර්ග කියයි.

 ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය