al-exam-paper-marking

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගැයීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අතර හටගෙන ඇති මතගැටුම හේතුවෙන් පිළිතුරු පත්‍ර ඇගැයීම තවදුරටත් පමාවනු ඇතැයි වාර්තා වේ. උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම ඉකුත් පෙබරවාරි මස 22 වැනි දින ආරම්භ කිරීමට නියමිතව තිබූ නමුත් ගුරු සංගම් හා විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් මේ වන විටත් එය මාස දෙක හමාරක පමණ කාලයක් පමා වී තිබේ.



පවතින තත්ත්වය අනුව හා  ආචාර්යවරුගේ කඹ ඇදීම හේතුවෙන් පිළිතුරු පත්‍ර  ඇගයීම සම්පූර්ණයෙන්ම ආරම්භ කර අවසන් කිරීම බොහෝ දුරට පමාවනු ඇතැයි දැනගන්නට තිබේ. වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හෝ වෙනත් කොන්දේසි පනවා තවදුරටත් පිළිතුරු පත්‍ර ඇගයීම පමා කළ නොහැකි බවත්, ඒ නිසා පිළිතුරු පත්‍ර ඇගයීමට  එක්විය යුතු බවත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිරිසකගේ මතය වී ඇත. ආණ්ඩුවේ, විපක්ෂ දේශපාලන කණ්ඩායම්වල සහ දෙමාපියන් ඇතුළු විවිධ පාර්ශ්වවල විරෝධය දැඩිව එල්ලවෙමින් තිබෙන හෙයින් උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමට තවත් පමා නොකර එක්විය යුතු බව ද ඔවුන්ගේ අදහස වී ඇත. ඒ අතර, ආණ්ඩුව පනවා ඇති උපයන විට බදු ගෙවීමට සහනයක් දෙනතුරු පිළිතුරු පත්‍ර ඇගයීමට එක් නොවීමට තවත් ආචාර්යවරුන් පිරිසක් දැඩි ලෙස තීන්දුවක් ගෙන ඇති බව ද පැවසේ.

මේ මත දෙකම දරන පිරිස් අතර විශ්ව විද්‍යාල සමිති ආචාර්ය සම්මේලනයේ  සාමාජිකයන් ද සිටින බව ද පැවසේ.

විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය  බී.එම්.එච්.එස්.   කේ. බන්නැහැක මහතාගෙන්  කළ විමසුමකදී සඳහන් කළේ ආචාර්යවරුන් පිළිතුරු පත්‍ර ඇගයීමට තීන්දු කර ඇති නමුත්,  ජනාධිපතිවරයා සාකච්ඡාවක් දෙනතුරු එය පමාවන බවය.  ජනාධිපතිවරයා  සමග සාකච්ඡාවක් ලබාදෙන බවට පොරොන්දු වූ නමුත් ඊයේ (2) පස්වරුව වනතෙක් එවැන්නක් නොලැබුණු බව ද හෙතෙම කීවේය. මේ පිළිබඳව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතාගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ ඇතැම් විෂයයන්වල පිළිතුරු පත්‍ර ඇගයීම මේ වනවිට ආරම්භ කර ඇති බවය. මේ මස 8 වැනි දින තවත් මධ්‍යස්ථාන 10කදී පිළිතුරු පත්‍ර ඇගයීම සිදුකරන බව ද හෙතෙම කීවේය.
රංජන් කස්තුරි