kalutara-girl-death-update

දකුණු කළුතර ලැඟුම්හලක තෙවන මහළින් වැටී අභිරහස් ලෙස මියගිය පාසල් සිසුවිය හා සම්බන්ධ සංසිද්ධියට අදාළ
 ප්‍රධාන සැකකරු අද (09) අලුයම් කාලයේ දී ගාල්ල හික්කඩුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කර තිබුණි. මේ වනවිට ඔහුගෙන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීම සිදුවෙමින් පවතී.
29 හැවිරිදි වියේ පසුවන  ධනුෂ්ක ගයාන් සහබන්දු නමැති ඔහු ප්‍රකට ලීසිං සමාගමක සිසර්වරයෙකු ලෙස සේවය කර ඇති අතර තර්ජනය කිරීම් බියවැද්දීම් හා බලහත්කාරීකම් සිය රාජකාරිය ලෙසද සිදුකරමින් සිටි අයෙකි.
සැකකරු කළුතර, පලාතොට ඉසුරු උයනේ ප්‍රදේශයේ පදිංචිව සිටි අතර විවාහකයෙකි. ඔහු මින් පෙර විවාහයක් සිදු කර ඉන් ඉවත්නොවී නව විවාහයකට පිවිසුන අයෙකු බවද පොලිසියට කරුණු සැල විය.
සිද්ධිය වූ දිනයේ මුණගැසුණ 16 හැවිරිදි සිසුවිය සමග ඔහු පැවැත්වූ සම්බන්ධය කුමක්ද යන්න පොලිසිය ප්‍රශ්න කරමින් සිටින අතර ඔහු පවසා ඇත්තේ ඇය ඔහුට මුණගැසී ඇත්තේ අවස්ථා 2 කදී පමණක් බවයි.

ඇය මරණයට පත්වූ දිනයට පෙර එක් අවස්ථාවක පමණක් ඇය දැක ඇති බව ඔහු කියා තිබේ.
කළුතර පාසලක ඉගෙනුම ලබමින් සිටි සිසුවිය තමා ඇසුරු කළේ විනෝදයට බවද ඔහු පවසා ඇති අතර ඇගේ ටික්ටොක් වීඩියෝවක් දැක ඒ ඔස්සේ චැට් කිරීමක් සිදු කර මුලින්ම සම්බන්ධ වූ බවත් පසුව ඇගේ මිතුරියන් හඳුනාගත් බවත් පවසා තිබේ.
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් පෙනී සිටින සිසුවිය තවම ඇයට අනන්‍යතාවයට අවශ්‍ය ජාතික හැඳුනුම්පතක් පවා සකස් කරගෙන නොමැති තැනැත්තියක වූ අතර සිසුවිය එලියට ගෙන ඒමට තමන්ට අවශ්‍ය වූ නමුත් එම අනන්‍යතා හැඳනුම්පතේ බාධා ගැන ඇය හා කථා කර තිබූ බව ඔහු කියා තිබේ.
සිද්ධිය වූ දිනයේ අසල්වාසී සොයුරියකගේ හැඳුනුම්පතක් ලබාගෙන ගෙදරට බොරුවක්කර ඇය පැමිණ තිබුණ බව මින් පෙර වාර්තා විය.
මහල් පහකින් යුතු ලැගුම් හලේ තුන්වන මහලේ කාමරයක් වෙන්කරගෙන පැය කිහිපයක් විනෝද වන්නට ඔවුන් සැලසුම් කර තිබී ඇති අතර ඊට පෙර මත්පැන් බෝතල්ද ගෙන ඒ සඳහා සූදානම් වීමට සිසුවියගේ යෙහෙලියගේ පෙම්වතා ඉෂාන් සමග ධනුෂ්ක කථිකා කරගෙන තිබුණි.
සිවුදෙනාටම එක් කාමරයක් ලබාගෙන වරින්වර පරිහරණය කරන්නට සූදානම් වූවත් හෝටලයේ කළමනාකාරවරයා ප්‍රකාශ කර ඇත්තේ සිවුදෙනකු සිටින බැවින් කාමර දෙකක් ලබාගන්නා ලෙසය. ඒ අනුව හෝටලයේ තුන්වැනි මහලේ වූ කාමර අංක 06 හා 07 ඔවුන් ලබාගෙන තිබේ.


හෝටලයෙන් ඌරු මස්, ඩෙවල් කළ කුකුළු මස් හා රයිස් ගෙන්වා ගෙන විස්කිද බොමින් විනෝදවූ බවත් පසුව සිසුවියගේ මිතුරිය වූ
 පබාරාත් ඇගේ පෙම්වතා වූ ඉෂානුත් රාත්‍රි 7.20ට පමණ නැවත පැමිණෙන බව දැනුම් දී හෝටලයෙන් පිටවී ගිය බවත් කරුණු වාර්තාවී තිබේ. මේ අවස්ථාව වනවිට සිව්දෙනාම මත්පැන් බී මත්වී සිටි බවද වාර්තාවේ.
පසුව තමන්ට අයත් කාමරයට සිසුවිය සමග ගිය ධනුෂ්ක මිනිත්තු 15 කින් පමණ එළියට ආ අතර ‘විහාරා‘ නමැති සිසුවිය ගැන ඔහු ඉෂාන් වෙත ඇමතුමක් ලබාදෙමින් කියා සිටියේ,
‘‘මචං, විහාරා පිස්සු නටලා ඇඳුමුත් ගලවලා දාලා ජනේලෙන් පැන්නා. මැරිලා ඇති. උඹල දෙන්නත් වරෙල්ලා. මට නං හිතාගන්න බෑ වෙලාතියන දේ ..මම රට හරි පනිනවා.’’ ලෙසිනි.

පබාරා ඉෂාන් සමග රේල් පාර පැත්තට ගොස් මිතුරියට සිදුවූ දේ විපරම් කර ඇත. විහාරාගේ නිරුවත් සිරුර දුම්රිය මාර්ගයේ මැද තිබූ බවත් ඇස් විවරව තිබූ බවත් ඇය දැක තිබේ.  ඉෂාන් තම කමිසය ගලවා සිරුර මත දමා දෑතින් ඔසවා ඇයව දුම්රිය මාර්ගය අයිනෙන් තබා ඇති අතර මේ අවස්ථාවේ සහයට ආ ධනුෂ්ක භිරාන්තව සිටි බවත් පසුව මෝටර් රථයේ නැගී පලාගිය බවත් පැවසිණි. උතුරු කළුතර, විලේගොඩ පිහිටි ඉෂාන්ගේ නිවස වෙත ගොස් සිදුවූ දේ ගැන කම්පනයෙන් කථාබස් කරන්නට පබාරා හා ඉෂාන් කටයුතු කර තිබුණි.

මේ අතර හෝටලයේ දෙවැනි මහලේ ආහාර ගැනීම සඳහා පැමිණ සිටි අයකු ‘‘රේල් පාර අයිනේ ගැහැනු කෙනකු වැටී සිටිනවා’’ යැයි හෝටලයේ කළමනාකරුට පවසා තිබිණි. ඔහු 1990 ගිලන් රථ සේවය කැඳවා තිබුණේ ඒ අනුවය. ගිලන් රථයේ පැමිණි නිලධාරීහු ඇය පරීක්ෂා කර මියගොස් ඇති බව පවසා පිටව ගියහ. දකුණු කළුතර පොලිසියට මේ සම්බන්ධයෙන් දුරකථන ඇමැතුම ආවේ ඒ අනුවය.

පලාගිය ප්‍රධාන සැකකරු ගැන සෙවීමට පොලිසිය කටයුතු කළේ ඒ අනුවයි.
ධනුෂ්ක තම මෝටර් රථය බණ්ඩාරගම මාර්ගයේ නතර කර එහි යතුර මඩ්ගාඩ් එක යට තිබෙන බව මිතුරකු වූ අංජනට පවසා මෝටර් රථය රැගෙන යන ලෙස උපදෙස් දී ඇත.

මෝටර් රථය සමග අංජන පොලිසියට කොටුවූ අතර ධනුෂ්ක පැන ගොස් තිබිණි. පබාරා හා ඉෂාන් දෙදෙනා රාත්‍රියේම දකුණු කළුතර පොලිසියට පැමිණ භාර වූහ.
ධනුෂ්ක දින දෙකකට පසු කොටුවන්නේ හික්කඩුවේ මිතුරෙකුගේ නිවසක සැඟව සිටියදීය. ඔහු ගැන පොලිසියට ඔත්තු සපයන්නේ ඒ ආසන්න නිවසක නිර්නාමික අයෙකි.
 සැකකරු කිසියම් ආකාරයෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි සමඟ සම්බන්ධක් ඇත්ද, එසේත් නැත්නම් මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා සම්බන්ධතා පවතී ද යන්න පිළිබඳව වැඩිදුර විමර්ශන අරඹා ඇති බවත්
සැකකරු සන්තකයේ බහුලව මුදල් ගැවසෙන බවට නිරීක්ෂණය වී ඇති බවත් පොලිසිය පවසයි.

 පබාරා හා ඉෂාන් සහ ප්‍රධාන සැකකරුගේ මෝටර් රථය රැගෙන ගිය බේරුවල, වලතර පදිංචි අංජන යන තිදෙනා මැයි මස 15 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන අතර ප්‍රධාන සැකකරු ධනුෂ්ක ගයාන් අද දින අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගන්නටත් ඒ අනුව වැඩිදුර ප්‍රශ්න කරන්නටත් නියමිතය.