janaka-rathnayake-president-election

ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කර නියමිත කාලයට පෙර මේ අවුරුද්දේ නොවැම්බරයේ පමණ ජනපතිවරණයක් පවත්වන්නට යන බවට දේශපාලන ආරංචි මේ වනවිට වාර්තා කරතිබේ.
පසුගිය මැයි 7 වැනිදා රටෙන් බැහැර වූ පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පසුගිය සිකුරාදා ලංකාවට පෙරළා පැමිණියේය. දැනට ජපානයේ සංචාරයේ නියුතුව සිටින ජනාධිපතිවරයා දිවයිනට පැමිණි වහාම බැසිල් හමුවීමට දින යොදා ගෙන ඇතැයිද වාර්තාවේ.
 ජනාධිපතිවරණය කඩිනම් කිරීමට කරන ව්‍යවසථා සංශෝධනය ඉක්මනින් කෙටුම්පත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත. මේ කටයුතු සඳහා අවශ්‍ය මූලික කටයුතු ජනාධිපති කාර්යාලයට අනුබද්ධ නීතිඥ මණ්ඩලයක් විසින් දැනටමත් ආරම්භ කර ඇති අතර පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක අවශ්‍ය පසුබිමක, ඉක්මණ් ජනපතිවරණ උවමනාව මත ව්‍යවස්ථා සංශෝධනයට අවශ්‍ය පූර්ණ සහය දෙන බවට සජබ ප්‍රකාශයක් කර ඇත.


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය ලබන සැප්තැම්බරයේ ලැබීමත් සමග භාණ්ඩ ගණනාවක මිල අඩුකර ජනතාවට තවත් සහන පිරිනමා එම වාසි ලබාගනිමින් ජනාධිපතිවරණයට යාම ආණ්ඩුවේ අදහස වී තිබේ.
මෙම පසුබිමේ පසුගිය දා රැස් වූ සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය සජබ ජනාධිපති අපේක්ෂකයා නම් කොට එය ප්‍රසිද්ධ කළේය.
ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සජබ වෙනුවෙන් මීළඟ ජනාධිපතිවරණයට තරග වදිනු ඇත.
 ආණ්ඩුකාරවරු පත්කිරීමේදී පොහොට්ටුව හා එකඟතාවක් ඇති කරගත් පරිදිම ජනාධිපතිවරණය සම්බන්ධයෙන්ද පොහොට්ටුව සමග සාකච්ඡා කර අවසන් එකඟතාවක් ඇති කර ගැනීම එක්සත් ජාතික පක්ෂයේ නායක හා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අපේක්ෂව වී තිබේ. ජපන් සංචාරය නිමවා පැමිණි සැණින් ඔහු බැසිල් හමුවන්නේ මේ සඳහා බව වාර්තා වේ.
දේශපාලන ආරංචි වාර්තාකරන්නේ පොහොට්ටුවේ පොදු අපේක්ෂක ලෙස රනිල් වික්‍රමසිංහ පත්කරනු ඇති බවයි.


මේ සම්බන්ධ ඉගියක් සතිඅන්තයේ පැවැත්වූ දේශපාලන රැස්වීමකදී ඇමති ප්‍රසන්න රණතුංග විසින්ද සිදු කළේය.

මේ අතර ජනපතිවරණය සඳහා ආණ්ඩු විරෝධී අපේක්ෂකයෙකු ලෙස මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක පත්කරන්නට බැසිල්ගේ උපායක් පවතින බවට දේශපාලන රාවයක් පැතිරෙමින් පවතී.
පසුගිය සතියේ පැවති මාධ්‍ය හමුවකදී තමා ජනපතිවරණයට ඉදිරිපත්වන බවට ජනක රත්නායක ප්‍රකාශයක්ද කර තිබුණි.
 දැනට රජයට එරෙහි පවතින මතවාදයේ විශාල වාසියක් වර්තමාන විපක්ෂයේ පක්ෂ වලට පවතින පසුබිමක බැසිල්ගේ උපායට අනුව එම වාසියේ කොටසක් ජනක වෙත යොමු කර විපක්ෂ ඡන්ද විසුරුවා හරින්නට ජනක පාවිච්චි කරන්නට යන බවට කතාවක් පැතිර ඇත. ඒ නිසාම ජනක රත්නායක ‘විශේෂ චරිතයක්‘ බවට පත්කරන සැලසුම රජයේම එකක් බවට මේ වනවිට පැතිරයන ආරංචි මගින් හෙළි කර තිබේ.