halpe-katana-factory-indika-anurudda

කටාන හල්පේ ප්‍රදේශයේ පිහිටි ඕමාන ජාතිකයකුට අයත් කම්හලට මාර්තු 30  රාත්‍රි කඩාවැදී කළමනාකරුට හා ආරක්ෂකයාට පහරදීමේ සිද්ධිය හේතුකොටගෙන එහි සේවක පිරිසට මසක වැටුප් ගෙවා කම්හල මාසයකට වසා දැමීමට ගත් තීරණයක් හේතුවෙන් එහි සේවක සේවිකාවෝ 350 ක් පමණ දෙනා ඊයේ (8) දහවල් විරෝධතා පා ගමනක යෙදුණහ. ගම්පහ දිස්ත්‍රික්කයේ රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධගේ හිතවතකු බව කියන පුද්ගලයකු එම ආයතනයට කුලී පදනම මත වාහනයක් ඇතුළත් කිරීමට ගත් උත්සාහයක් ව්‍යර්ථවීම නිසා මාර්තු 30 රාත්‍රි එහි කඩා වැදුණු පිරිසක් මෙසේ ප්‍රහාරයක් එල්ල කර තිබිණි.



මෙම සිද්ධිය සම්බන්ධයෙන් පසුදිනම පුද්ගලයන් තිදෙනෙකු බඩල්ගම පොලිසිය මගින් අත්අඩංගුවට ගැණුනු අතර මේ සිදුවීම සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ විධිමත් නැති බවට එල්ලවූ චෝදනා නිසා පරීක්ෂණ කටයුතු රහස් පොලිසියට පවරනු ලැබීය. මේ අතර තම ආයතනයට නිසි ආරකෂාව  සහතික කෙරෙන බවට රජයෙන් සහතිකයක් ලැබෙනතුරු ආයතනය පවත්වාගෙන යාම ගැටලුවක් බව සඳහන් කරමින් මෙසේ සේවකයන්ට මසක වැටුප් ගෙවා ආයතනය වසා දමන්නට ඕමාන ජාතික ආයෝජකයා පියවර ගෙන තිබේ.

මේ තත්ත්වය උද්ගත වූයේ රාජ්‍ය ඇමැතිවරයාගේ බලපෑම නිසා බවට චෝදනා කරමින් සේවක සේවකයෝ ඊයේ (8) දහවල් මෙසේ විරෝධය දැක් වූහ.සේවක සේවිකාවෝ විරෝධතා පා ගමනක යෙදෙමින් විදුලි බල රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ මහතාගේ හල්පේ පහේ කණුව ප්‍රදේශයේ පිහිටි නිවාසය හා මහ ගෙදර ආසන්නයටම ගොස් විරෝධය දැක් වූහ.ෙ