doctor-arrest

මත්පැන් පානය කර මෝටර් රථයක් පදවමින් රාත්‍රී ජංගම සංචාරයේ නිරත පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් සාපරාධී බලහත්කාරය පෑ වෛද්‍යවරයකු සහ කථිකාචාර්යවරයෙකු අත්අඩංගුවට ගත් බව මත්තේගොඩ පොලීසිය සදහන් කරයි. හෝමාගම රෝහලේ වෛද්‍යවරයෙකු සහ ශ්‍රී ප්යවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය වරයෙකු මෙසේ අත්අඩංගුවට පත්ව සිටිති.

පෙරේදා අලුයම 4.40 ට පමණ අපරීක්ෂාකාරී ලෙස පැමිණි මෝටර් රථයක් මත්තේගොඩ ඉන්ධන පිරවුම්හල ආසන්නයේදී රාත්‍රී ජංගම මුර සංචාරයේ නිරත මත්තෙගොඩ පොලීසියේ නිලධාරීන් නවතා පරීක්ෂා කිරීමේදී එහි රියැදුරා ලෙස සිටි වෛද්‍යවරයා අධික ලෙස මත්පැත් පානය කර සිටි බවට අනාවරණය වී ඇත. එම අවස්ථාවේදී අවස්ථාවේ දී රියැදුරු ලෙස කටයුතු කළ වෛද්‍යවරයාට සිදු කළ වරද පහදා දී අත්අඩංගුවට ගැනීමට සිදුවන බවට පැවසීමෙන් අනතුරුව  මෝටර් රථයේ ඉදිරිපස වම් පස අසුනේ සිටි කථිකාචාර්යවරයා  පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් සාපරාධී  බලහත්කාරය පා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව වෛද්‍යවරයා මත්පැන් පානය කර මෝටර් රථයක් පැදවීම සහ කථිකාචාර්යවරයා පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් සාපරාධී බලහත්කාරය පෑම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් දෙදෙනා පොලිස් ඇප මත මුදාහැර ඇති අතර එළඹෙන 29 වන දින කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මත්තේගොඩ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දික කුමාර මහතාගේ මෙහෙයවීමෙන් සිද්ධිය පිළිබද වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.
 බිමල් ශ්‍යාමන් ජයසිංහ