doctor-2000-migrated

විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශාල පිරිසක් රට හැර යාමෙන් මෙරට සෞඛ්‍ය පද්ධතිය බරපතළ අර්බුදයකට ලක්ව ඇතැයි සමගි ජනබලවේගයේ සහකාර ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කාවින්ද ජයවර්ධන මහතා කොළඹ දී ඊයේ (22) පැවසීය. පසුගිය වසරේ පමණක් විශේෂඥ වෛද්‍යවරුන් 600කට ආසන්න ප්‍රමාණයක් සහ වසර දෙකක් තුළ වෛද්‍යවරුන් 2000ට ආසන්න ප්‍රමාණයක් රට හැර ගොස් ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.



වෛද්‍යවරුන් ඇතුලු කාර්ය මණ්ඩල හිඟයට අමතරව රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ සහ උපකරණවල බරපතළ හිඟයක් පවතින බවත් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසීය. ඉන්ෆ්ලුවෙන්සා, කෝවිඩ්, ඩෙංගු ඇතුලු රෝග සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙද්දී ඇතැම් රෝහල්වල රෝගීන්ට විටමින් සී සහ පැනඩෝල් පමණක් ලබාදෙන බවත් ජයවර්ධන මහතා කීවේය. මේ ආකාරයට මාස හයක් පමණ තවදුරටත් සෞඛ්‍ය පද්ධතිය ක්‍රියාත්මක කළහොත් සෞඛ්‍ය ආපදාවක් අනිවාර්යෙන්ම රට තුළ සිදු වන බවත් ඔහු තවදුරටත් පැවසීය.
නිමල කොඩිතුවක්කු