arundika-tiran-china-man

විදේශ ගමන් බලපත්‍ර දෙකකින් මෙරටට පැමිණි චීන ජාතිකයා වහාම පිටුවහල් කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ආගමන විගමන පාලකවරයාට දැනුම් දී ඇත.
එම චීන ජාතිකයා ඊයේ (23දා) ආගමන විගමන දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන විදෙස් ගමන් බලපත්‍ර පරීක්ෂා කිරීමෙන් පසුව මෙම නියෝගය ලැබී තිබේ.

විදේශ ගමන් බලපත්‍ර දෙකකින් මෙරටට පැමිණි බව කියන චීන ජාතිකයා ඊයේ ආගමන විගමන දෙපාර්තමේන්තුවට කැඳවන ලෙස අමාත්‍ය ටිරාන් අලස් මහතා ආගමන විගමන පාලකවරයාට උපදෙස් ලබාදී තිබිණ.

මෙම චීන ජාතිකයා පසුගිය 19 වැනිදා කටුනායක ගුවන් තොටුපොළෙන් නැවත හරවා යැවීමට ආගමන විගමන නිලධාරීන් විසින් පියවර ගනු ලැබ තිබුණේ විදේශ ගමන් බලපත්‍ර දෙකක් සහිතව රටට ඇතුළුවීමට උත්සාහ කළ බවට චෝදනා කරමිනි.

එහිදී එම චීන ජාතිකයා සහ ඔහුගේ මිතුරන් දෙදෙනකු කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තය තුළ කලහකාරී ලෙස හැසිරී තිබිණි.



ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊකේ- 648 දරන ගුවන් යානයේ ව්‍යාපාරික පන්තියේ ආසන පහසුකම් යටතේ 18 වැනිදා රාත්‍රි 09.50ට ඔවුහු කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබිණි.

මෙසේ පැමිණි පිරිස මෙරටට ඇතුළු වීම සඳහා සිය නිෂ්කාශන කටයුතු කර ගැනීමට ආගමන විගමන කවුළුව වෙත පැමිණ ඇත්තේ පැය දෙකකට පමණ පසුව යැයි ද වාර්තා විය.

එහිදී චීන ජාතිකයා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ සේවය කළ ආගමන විගමන නිලධාරිවරයාට ගිනි රාජ්‍යයේ ගුවන් ගමන් බලපත්‍රයක් ඉදිරිපත් කිරීමෙන් පසුව කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු සතුව තිබූ චීන ජාතික ගුවන් ගමන් බලපත්‍රයක් ඉදිරිපත් කර තිබිණි.



පසුව මෙම චීන ජාතිකයා මුදාහරින්නැයි ඉල්ලමින් නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ආගමන විගමන පාලකවරයාට ලිපියක් යොමුකිරීම විවාදයට තුඩු දුන් අතර මෙම චීන ජාතිකයා සිය අමාත්‍යාංශය යටතේ ඉදිවන නිවාස යෝජනා ක්‍රමයකට හා වෙනත් අමාත්‍යාංශ කිහිපයක ආයෝජන කිහිපයක් සඳහා පැමිණි පුද්ගලයකු බවත් ඔහු සතුව කිසිදු නීති විරෝධී ගුවන් බලපත්‍රයක් නොතිබුණ බවට අදාළ සමාගම සහතික වූ නිසා මෙම ඉල්ලීම කළේ යැයි රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මාධ්‍යට ප්‍රකාශයක් කළේය.

අදාළ ආයෝජනයට සම්බන්ධ මෙරට සමාගම මේ සිද්ධිය සම්බන්ධයෙන් තමා දැනුවත් කිරීමෙන් අනතුරුව ආගමන විගමන පාලකවරයාගෙන් කරුණු විමසා බලා එම ලිඛිත ඉල්ලීම සිදු කළ බවද ඔහු එහිදී සඳහන් කළේය.