al-exam-paper-marking

2024 වසරේදී සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග දෙකම එකම වසරක් තුළ පවත්වමින් විභාග කාලසටහන යාවත්කාලීන කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසීය.

එමෙන්ම විද්‍යාපීඨ ගුරුවරුන් 7,800කට ජුනි 15වැනිදා නව පත්වීම් ලබාදෙමින් ජාතික හා පළාත් පාසල්වල ගුරු හිඟය පියවීමට පියවර ගන්නා බවත්, විද්‍යාව, තාක්‍ෂණය හා භාෂාව වැනි ගුරු හිඟය වැඩි වශයෙන් පවතින විෂය ක්‍ෂේත්රවලට අනුමැතිය ලබාගැනීමෙන් පසු විශ්වවිද්‍යාලවලින් පිටවන වයස 35ට අඩු උපාධිධාරින් අතරින් ජාතික හා පළාත් මට්ටමින් ගුරුවරුන් බඳවාගැනීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.



අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාගේ සහභාගිත්වයෙන් යුතු ඊයේ (18දා) අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවති සාමාන්‍ය පෙළ ඉහළින් සමත් එහෙත් අඩු ආදායම්ලාභී ආර්ථික දුෂ්කරතා සහිත පවුල්වල සිසු-සිසුවියන්ගේ උසස් පෙළ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.

"දැන් මහාචාර්යවරු සම්බන්ධ වීම නිසා මාස දෙකක් ප්‍රමාද වුණු එක තවදුරටත් ප්‍රමාද නොකර ඉදිරියට ගේන්න බලාපොරොත්තු වෙනවා මධ්‍යස්ථාන ගාණ වැඩි කරලා. ඒක  අවසන් වෙනකොට සාමාන්‍ය පෙළ විභාගය පක්‍ෂා කරනවා. අපි බලාපොරොත්තු වෙනවා 2024 වනවිට මේක යාවත්කාලීන කරන්න.

ඒ අනුව සාමාන්‍ය මට්ටමට ගෙනවිත් විභාග දෙකම එකම වර්ෂයක පවත්වන්න. විභාග පැවැත්වීම නෙවෙයි විෂය නිර්දේශ ආවරණය කරන්නත් ඕන. ඒ නිසා පාසල් කාලසටහනයි, විභාග කාලසටහනයි සමාන්තරව යන්නේ. ඒ කටයුතු කිරීමට තමයි අවශ්‍ය කටයුතු කරන්නේ, ඉක්මනට උගන්වලා අවසන් කරන්න බෑනේ, අවුරුද්දක විෂය නිර්දේශය ඒ පාඩම් සංඛ්‍යාව අවසන් කරන්න ඕන. ඒකට අවශ්‍ය කරන කාලය ලබා ගන්න අපි නිවාඩු කාලය අපි හැකි තරම් අඩු කරලා අධ්‍යයන කාලය වැඩි කරන්න තමයි කටයුතු කරලා තියෙන්නේ වාර සටහන් සකස් කිරීමේදී.”
 දිනේෂ් සමරකෝන්