
ගලාකන්ද, කොලොන්දණ්ඩ ප්‍රදේශයේ මාර්ගයක ගමන් කරමින් සිටි 24 හැවිරිදි තරුණයකුට පොලුවලින් හා යකඩකූරුවලින් පහර දී ඝාතනය කළේ යැයි කියන දාසය හැවිරිදි බාලවයස්කාර දරුවන් දෙදෙනකු ඇතුළු හය දෙනකු අත්අඩංගුවට ගත් බව වැලිගම මූලස්ථාන පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් අය අතර එකම පවුලේ සහෝදරයන් දෙදෙනකුද සිටින බව වැලිගම මූලස්ථාන පොලිසිය කියයි. මෙසේ පහර දී ඝාතනය කරනු ලැබ ඇත්තේ එම්.එච්. සමුරංග නැමැත්තෙකි. මොහු මිතුරන් පිරිසක් සමඟ මත්පැන් සාදයක් පවත්වා මාර්ගයේ ගමන් කරමින් සිටි අතරවාරයේ කාන්තාවක සමඟ ආරවුලක් ඇතිකරගෙන ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මෙම කාන්තාව කළ දැනුම් දීමක් මත ඇයගේ පුතුන් දෙදෙනකු ඇතුළු පිරිසක් පැමිණ මෙම තරුණයාට අමානුෂික ලෙස පහර දී ඇතැයි පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් අය අතර ඇයගේ පුතුන් දෙදෙනාද සිටින බව පොලිසිය වැඩිදුරටත් කියයි. අත්අඩංගුවට ගත් හය දෙනා අවුරුදු 16, 21, 23, 32 වියේ පසුවන්නෝ වෙති. වැලිගම මූලස්ථාන පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
Comments
Post a Comment
Your comment will be visible after approval