sri-lanka-cricket-political

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එල්ල වී ඇතැයි පැවසෙන දේශපාලන බලපෑම් හේතුවෙන්, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.) ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය ඉදිරි දිනවලදී අත්හිටුවීමට ඉඩ ඇතැයි යනුවෙන් පළවූ වාර්තා අසත්‍ය බව අයිසීසී අලෙවි සහ සන්නිවේදන සාමාන්‍යාධිකාරි ක්ලෙයාර් ෆර්ලොන්ග් මහත්මිය පවසයි. අදාළ වාර්තාව සම්බන්ධයෙන් අයිසීසී අලෙවි සහ සන්නිවේදන සාමාන්‍යාධිකාරිවරියගෙන් 26දා විමසීමක් කළ අතර,

ඇය පවසා සිටියේ ඒ ආකාරයේ කිසිදු තීන්දුවක් අයිසීසීය ගෙන නොමැති බවත්, එවැනි සාකච්ඡාවක් සිදුනොවූ බවත්ය.

මේ අතර, වෙනත් පැමිණිල්ලකට  හෝ වෙනත් කරුණක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය තහනම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන ඇත්තේද යන්න අප කළ විමසීමේදී අයිසීසී අලෙවි සහ සන්නිවේදන සාමාන්‍යාධිකාර්වරිය පවසා සිටියේ එම පුවත පදනමකින් තොර බවයි. එවැනි  සාකච්ඡාවක් හෝ මෙතෙක් සිදුව නොමැති බව ඇය අවධාරණය කළාය.  මීට පෙරද අවස්ථා කිහිපයකදීම මේ ආකාරයේ පුවත් සංසරණය වූ අතර,

එම අවස්ථාවේදීද අයිසීසීය එම ප්‍රවෘත්ති ප්‍රතික්ෂේප කර තිබුණි.

මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් සිදුකළ විශේෂ විගණනය  අවසන්ව ඇති අතර, මේ වන විට එහි දමිළ සහ ඉංග්‍රීසි පරිවර්තන අවසන් කරමින් පවතින බව විගණකාධිපති දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසා සිටියේය. ඒ අනුව මෙම සතිය නිමා වීමට පෙර එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇතැයි විශ්වාසය පළ කෙරේ.  මෙම විගණන වාර්තාවේ අඩංගු කරුණු මත පදනම්ව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා බව අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිඥා දී තිබුණි.

පැතුම් ශ්‍රී විජේරත්න