
නුවරඑළියේ පැවැත්වෙන වසන්ත සැණකෙළිය උත්සව භූමියේ අවන්හලකදී නුවරඑළිය මූලස්ථාන පොලිසියේ පොලිස් පරීක්ෂකවරයකුට පහරදී තුවාල සිදු කළේ යැයි කියන කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ සිසුවෙක් පෙරේදා (22) රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. පහර කෑමෙන් තුවාල ලැබූ පොලිස් පරීක්ෂකවරයා නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කර ඇතැයි නුවරඑළිය ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ මාකොළ කල්‍යාණි මාවතේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකි. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ සිසුවකු බව පොලිසිය කියයි.
පොලිස් පරීක්ෂකවරයා රාජකාරි අවසන් කර සාමාන්‍ය ඇඳුමෙන් සැරසී රාත්‍රී ආහාරය ලබා ගැනීමට සැණකෙළි භුමියේ පිහිටි අවන්හලක් වෙත ගොස් ඇති බව පොලිසිය පවසයි. සැණකෙළි භූමියේ දෙපිරිසක් අතර ආරවුලක් ඇති වී තිබෙනු දුටු පොලිස් පරීක්ෂකවරයා එම ස්ථානයට ගොස් ආරවුල් ඇති කර නොගන්නා ලෙසත් සාමකාමීව සිටින ලෙසත් දෙපාර්ශ්වයට උපදෙස් දී ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.
එම අවස්ථාවේ ආරවුලක් ඇතිකරගෙන සිටි පිරිසේ කිහිප දෙනකු පරීක්ෂකවරයාට පහරදී පලා ගොස් ඇති අතර සැකකාර නීති සිසුවා එම ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි පෞද්ගලික ආරක්ෂක සේවාවක පිරිසක් විසින් අල්ලා පොලිසියට බාර දෙනු ලැබ ඇත.
ඒ අනුව එම සිසුවා සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි පොලිසිය කියයි. නුවරඑළිය මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය