cpc-leaders-court

ඉන්ධන බෙදාහැරීමේ කටයුතු අඩාළ කළැයි අනිවාර්ය නිවාඩු යවනු ලැබූ ඛනිජ තෙල් වෘත්තිය සමිති නායකයන් සිය වත්කම් බැරකම් ප්‍රකාශ නිසි පරිදි කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත භාර දී නොමැති බව කම්කරු අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කරයි. ඒ අනුව වත්කම් බැරකම් පනත උල්ලංඝනය වන අයුරින් කටයුතු කළ එම වෘත්තිය සමිති නායකයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කම්කරු අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. 1975 වත්කම් බැරකම් පනත අනුව රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය අංශයේ වෘත්තිය සමිති නායකයන් වාර්ෂිකව සිය වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතුය.


නමුත් අදාළ වෘත්තිය සමිති නායකයන් මේ වන තෙක් තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර නොමැති බවද ඉහත ආරංචි මාර්ග සඳහන් කරයි. එලෙස වත්කම් බැරකම් ප්‍රකාශ නිසි පරිදි ඉදිරිපත් නොකරමින් වත්කම් බැරකම් පනත උල්ලංඝනය වන අයුරින් කටයුතු කළ වෘත්තිය සමිති නායකයන්ට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගැනීමට කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ කම්කරු කොමසාරිස් ජනරාල්වරයා කටයුතු කරමින් සිටින බව එම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. ඉන්ධන බෙදාහැරීමේ රාජකාරියේ යෙදී සිටි සේවකයන්ට බලපෑම් කරමින් එම කටයුතු අඩාළ කළැයි අනිවාර්ය නිවාඩු යවන ලද වෘත්තිය සමිති නායකයන් හා ඊට සහාය දුන් සේවකයන් විසි දෙනාට අදාළ විනය පරීක්ෂණ හෙට (04 වැනිදා) පැවැත්වීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව තීරණය කර තිබේ.

එලෙස විනය පරීක්ෂණ පවත්වන වෘත්තිය සමිති නායකයන් අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික ජන බලවේගය නියෝජනය කරන වෘත්තිය සමිති නායක‍ෙයා්ද සිටිති.



නමුත් අදාළ වෘත්තිය සමිති නායකයන් සමග වර්ජනයේ නිරතවූ සමගි ජන බලවේගය නියෝජනය කරන සමගි සේවක සංගමයේ ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තිය සමිති සභාපතිවරයා සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ජාතික සේවක සංගමයේ ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තිය සමිතියේ සභාපතිවරයාට එරෙහිව විනය පරීක්ෂණ නොපැවැත්වෙන බවත් ඔවුන් අනිවාර්ය නිවාඩු යැවීමට නියමිතව තිබූ ලේඛනයෙන් ඉවත් කර තිබෙන බවත් ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තිය සමිති නායකයෝ චෝදනා කරති.

ඉෂාර රත්නකාර