amaraweera-monkey

රිළවුන් පිටරට යැවීමට කමිටු අනුමැතිය ලැබීමෙන් පසුව, රිළවුන් ඇල්ලීම චීන සමාගමටම පැවරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත. රිළවුන් අල්ලා ගුවන් තොටුපොළ දක්වා ගෙනැවිත් දීමට වැයවන මුදල සඳහා එක් රිළවෙකුට ගාස්තුවක් ගෙවීමට චීන සමාගම එකඟ වූවද, එය සිදු කිරීම අපහසු බැවින් ඔවුන්ටම රිළවුන් අල්ලන ලෙස දැනුම් දුන් බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර පැවසුවේය.


මෙහිදී රිළවුන් අල්ලා කටුනායක දක්වා ප්‍රවාහනය කිරීමට සිදුවන බවත්, එහිදී සති දෙකක පමණ කාලයක් එම සතුන් නිරෝධායනය කළයුතු බවත්, එහිදී සතුන්ට ආහාර ලබාදීම ඇතුළු කටයුතු සඳහා විශාල වියදමක් හා ශ්‍රමයක් දැරීමට සිදුවන බවත් ඇමැතිවරයා පැවසුවේය.
මෙරට සිටින රිළවුන් කිසිසේත්ම මුදලට අලෙවි නොකරන බවත්, ඒ පිළිබඳව සමාගම සමග සාකච්ඡා කර නොමැති බවත් ඔහු කීවේය.
රිළවුන් ලබා දෙන ලෙස තවත් රටවල් කීපයක සත්වෝද්‍යානවලින් ඉල්ලීම් ලැබී ඇතැයිද ඇමැතිවරයා කීවේය.
එම සත්වෝද්‍යානවලින් රිළවුන් සීය දෙසීය බැගින් ඉල්ලුම් කර ඇතැයිද ඔහු පැවසුවේය.
චීනයෙන් කරන ලද ඉල්ලීමත් සමග ලෝකයේ වෙනත් රටවලට මෙරට රිළවුන් ලබා ගැනීමට අදාළ ඉල්ලීම් වැඩිවී ඇතැයිද ඔහු කීවේය.
රිළා ප්‍රශ්නය නිසා ගොවි ජනතාව දැඩි දුකක් විඳින බවත් ඇමැතිවරයා සඳහන් කළේය.