The-student-finds-the-stolen-motorcycle-from-the-teacher-through-the-face-book

ගුරුවරියකට අයත් සොරකම් කළ යතුරු පැදියක් මුහුණු පොතේ විකිණීමට දමා තිබිය දී පන්තියේ සිසුවෙකු විසින් සොයා දීමේ සිද්ධියක් නාරම්මල පොලීසියෙන් වාර්තාවේ.
නාරම්මල ප්‍රදේශයේ පාසල් ගුරුවරියකට අයත් රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා ස්කූටි වර්ගයේ යතුරු පැදිය ඇයගේ නිවසේ නවතා තිබිය දී පසුගිය දිනයක රාත්‍රියේ දී කිසිවකු සොරකම් කරගෙන ගොස් ඇත.
ඇය ඒ සම්බන්ධයෙන් නාරම්මල පොලිසියේ පැමිණිල්ලක් දමා සොරකම් කළ යතුරු පැදිය පිළිබඳ විස්තර තම පන්තියේ සිසුන්ට ද දන්වා එය සොයා ගැනීම සඳහා ඔවුන්ගේ සහාය ද පතා තිබිණි. මේ පිළිබඳව අවධානයෙන් පසු වූ එක් සිසුවකු ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මුහුණු පොතේ යතුරු පැදි විකිණීමට පළ කරනු ලබන විස්තර සොයා බලද්දී තම ගුරුවරිය පරිහරණය කළ යතුරු පැදිය හා සමාන යතුරු පැදියක් විකිණීමට දමා ඇති ආකාරය දැක තිබේ. තම ගුරුවරියට අයත් යතුරු පැදියේ ආසනයේ එක් කොටසක් ඉරි තිබෙන බව දුටු ඔහු දිනක් පාසලේ දී ඒ සම්බන්ධයෙන් ගුරුවරියගෙන් විමසා ඉරි ගොස් ඇති ආසනය සකසා ගන්නා ආකාරය පිළිබඳව ඇය දැනුවත් කර ඇත.


එම මතකය තුළින්ම මුහුණු පොතේ දමා තිබූ යතුරු පැදිය පහසුවෙන්ම හඳුනා ගත් සිසුවා එය තම ගුරුවරියට අයත් යතුරු පැදිය බවට නිශ්චය කරගෙන පසුව ඒ පිළිබඳව නාරම්මල පොලීසිය දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.
යතුරු පැදිය විකිණීමට මුහුණු පොතේ පළ කර තිබූ දුරකථන අංකයට උපාය දූතයකු යොදා ඇමතුමක් ගත් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් යතුරු පැදිය මිලදී ගැනීමට කතා කර එකඟතාවකට පැමිණ ඇත.
ඒ අනුව යතුරු පැදිය පන්නල මාකඳුර ප්‍රදේශයේ ස්ථානයකට රැගෙන ආ අවස්ථාවේදී යතුරු පැදිය සමඟ එය රැගෙන ආ පුද්ගලයා

අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ. විකිණීම සඳහා ගෙනා යතුරු පැදිය තම යතුරු පැදිය බවට පැමිණිලිකාර ගුරුවරිය ද හඳුනාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී ඒ ආකාරයට විවිධ ප්‍රදේශ වලින් සොරකම් කර තිබූ යතුරු පැදි තවත් 4 ක් සොයා ගැනීමට හැකිවී ඇත. ස්කූටි වර්ගයේ යතුරු පැදි 2 ක් සහ ගියර් මොඩලයේ යතුරු පැදි 3 ක් සමඟ සොරකමට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන මෙහෙය වූ පොලිස් නිලධාරීන්ට හැකි විය.
කටුපොත, නාරම්මල සහ ගිරිඋල්ල පොලිස් බළ ප්‍රදේශ වලින් එම යතුරු පැදි සොරාගෙන ඉතා අඩු මිල ගණන් වලට විකුණා තිබූ බව පොලීසිය පවසයි.

මෙම යතුරු පැදි සියල්ලම අගුලු නොදා නිවෙස් වල නවතා තිබිය දී සොරකම් කරගෙන ගොස් තිබූ බවද පොලීසිය කියයි.
කුරුණෑගල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති අනිල් ප්‍රියන්ත මහතාගේ උපදෙස් අනුව කුලියාපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නෙරංජල අබේවර්ධන මහතාගේ මෙහෙය වීමෙන් සහකාර පොලිස් අධිකාරි සමන් දිසානායක මහතාගේ අධීක්ෂණය යටතේ නාරම්මල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිල්රුක් පෙරේරා. අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.ඒ.ජී. දසනායක මහත්වරුන් ඇතුළු නිලධාරි පිරිසක් විමශත මෙහෙය වූහ.

පුෂ්පකුමාර ජයරත්න