wennappuwa-incident

අද (29) සවස වෙන්නප්පුව පොලිස් වසමේ පේරගස් හංදිය ප්‍රදේශයේදී සොරකමක් සම්බන්ධයෙන් 52 හැවිරිදි පුද්ගලයෙකු අල්ලන්නට ගිය පොලිසිය එම පුද්ගලයාට වෙඩිතබා ඝාතනය කර ඇති බව වාර්තා විය. පොලිසිය පවසන්නේ එකී පුද්ගලයා පොලිසියට මන්නා පහර එල්ල කරන්නට ගිය නිසා ආරක්ෂාව වෙනුවෙන් වෙඩි තැබූ බවයි.
පොලිස් නිවේදනය අනුව සිද්ධිය පොලිසිය විස්තර කරන්නේ මේ ආකාරයටය.

‘මාරවිල පොලිස් වසමේ තියුණු ආයුධ පෙන්වා දේපල ඇතුලු රන්භාණ්ඩ කොල්ලකෑම් හා යතුරුපැදි සොරකම් වලට අවශ්‍යකර සිටි සැකකරුවන් දෙදෙනෙකු සොරකම් කරන ලද යතුරු පැදියකින් පැමිණ සිටින බවට මාරවිල පොලිස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති වරයාට ලද තොරතුරක් මත එම පොලිස් ස්ථානයේ නිලධාරීන් පස්දෙනෙකු සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් අද (29) දින සවස ක්‍රියාත්මක කර තිබිණි.



ඒ අනුව සැකකරුවන් යතුරුපැදියකින් පලා යාම නිසා ඔවුන් ලුහුබැද ගොස් වෙන්නප්පුව පොලිස් වසමේ පේරගස් හංදිය ප්‍රදේශයේදී අල්ලා ගැනීමට පොලිස් නිලධාරීන් විසින් උත්සාහ කර ඇත. එම අවස්ථාවේ එක් සැකකරුවෙකු සගවාගෙන සිටි මන්න පිහියක් රුගෙන පොලිස් නිලධාරීන්ට පහරදීම නිසා එක් නිලධාරියෙකුගේ අතක මැනික් කටුව ප්‍රදේශය සහ ඇඟිලි වලින් කැපීගොස් තිබිණි. නිලධාරියා එම අවස්ථාවේම ඔහුගේ පිස්තෝල අවියෙන් සැකකරුට වෙඩි තබා ඇති අතර අනෙක් පොලිස් නිලධාරියා සැකකරු මෙල්ල කිරීමට උත්සාහ කිරීමට යාමේදී ඔහුටද මන්නා පිහියෙන් පහරදී ඇති අතර ඒම නිලධාරියාට පිහි පහර වැදී නොමැති අතර කකුල් ප්‍රදේශ වලට වෙඩි වැදුනු සැකකරු මාරවිල රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත.

මියගිය සැකකරු වයස අවුරුදු 52 ක් වූ වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මියගිය සැකකරු සමඟ පැමිණි වයස අවුරුදු 30 ක් වූ මාරවිල ප්‍රදේශයේ පදිංචි අනෙක් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර තුවාල ලැබූ පොලිස් නිලධාරියාද ප්‍රතිකාර සඳහා මාරවිල රෝහලට ඇතුලත් කර ඇත. මෙම මරණකරු හා අත්අඩංගුවට ගත් සැකකරු අවට පොලිස් වසම් වලද කොල්ලකෑම් සිදුකර ඇති බවට අනාවරණය වි ඇත. මාරවිල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.‘