sara-jasmin-identified-dna

2019 පාස්කු ප්‍රහාරයෙන් දින කිහිපයකට පසුව අප්‍රේල් 26 වන දින සයින්දමරුදු ප්‍රදේශයේ සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින් යන අය මිය ගොස් තිබේද යන්න ගැන ඇතිවූ සැකය අද තහවුරුවූ බව පොලිසිය ප්‍රකාශ කරයි.

'සාරා ජස්මින්' කටුවාපිටිය දේවස්ථානයට ප්‍රහාරයක් එල්ල කළ බවට සැක කෙරෙන මරාගෙන මැරෙන බෝම්බකරු මොහොමඩ් හස්තුන්ගේ බිරිඳයි. සයින්දමරුදු ප‍්‍රදේශයේ ආරක්‍ෂිත නිවසක මිය ගිය 17 දෙනාගෙන් එක් අයෙක් ඇය බව පැවසිණි.‘සාරා ජස්මින්’ ඉන්දියාවට යවා ඇති බවට මත පැවති අතර ඇත්තටම ඇය එම ස්ථානයේදී මියගියාද යන්න ගැන සැක මතුව තිබුණි.
ඇය හඳුනා ගැනීම සඳහාඅධිකරණ නියෝග මත ඩීඑන්ඒ පරීක්ෂණයක් සිදු කිරීම සඳහා මෘත දේහය 2022 අප්‍රේල් මස ගොඩගත් අතර ඒ සම්බන්ධ පොලිසිය අද කරුණු වාර්තා කළේය.



2019 අප්‍රේල් 26 වන දින සයින්දමරුදු ප්‍රදේශයේ ආරක්‍ෂිත නිවසක් තුළ රැඳී සිටිය දී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරවා හැරීම හේතුවෙන් මිය ගිය තැනැත්තන් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සිදුකරන විමර්ශන වලදී එම මරණකරුවන් හඳුනා ගැනීම සඳහා අධිකරණ නියෝග මත විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරුන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධරයන් සහ රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවේ විශේෂඥයන්ගේ සහභාගීත්වයෙන් තුන්වන වරට ලබා ගන්නා ලද සියුම් සාම්පල සම්බන්ධව සිදු කරන ලද DNA පරීක්ෂාවේ දී එම මියගිය තැනැත්තන් අතර පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින් යන අය ද සිටින බව රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද වාර්ථාව මඟින් තහවුරු වී ඇත.

පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින් යන අයගේ මවගෙන් ලබා ගන්නා ලද DNA සාම්පල සමඟ අපරාධ ස්ථානයෙන් සොයා ගන්නා ලද අස්ථි කොටස් කිහිපයක DNA සාම්පල, මවක සහ දරුවකු අතර පවතින ජීව විද්‍යාත්මක සම්බන්ධතාවය තහවුරු වන ප්‍රතිඵලයක් බවත්, ඒ අනුව එම අස්ථි සාම්පල හිමි අයගේ ජීව විද්‍යාත්මක මව රාජරත්නම් කවීදා වීමට ඇති සම්භාවිතාව 99.9999% ක් බව තහවුරු වී ඇති බවත් රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද වාර්ථාවේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

මෙම වාර්ථාව අනුව 2019.04.26 වන දින සයින්දමරුදු ප්‍රදේශයේ ආරක්‍ෂිත නිවසක් තුළ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින් යන අය මිය ගොස් ඇති බව තහවුරු වී ඇත. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධව  අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමට නියමිතව ඇත.