vehicle-theft-team-nabbed

වාහන සොරාගන්නා කල්ලියක, යුද හමුදාවේ විශ්‍රාමික දෙවැනි  ලුතිනන්වරයකු ඇතුළු දෙදෙනක් සොරකම් කරන ලද ප්‍රාඩෝ ජීප් රථ දෙකක් ඇතුළු රුපියල් කෝටි 14කට ආසන්න වටිනාකමින් යුත් වාහන කිහිපයක් ද සමඟ කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් පෙරේදා (12) සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.  ප්‍රාඩෝ ජීප් රථ දෙකට අමතරව වැගන් ආර් වර්ගයේ වෑන් රථ දෙකක් ද ට්‍රේලරය සහිත ට්‍රැක්ටරයක් සහ නවීන පන්නයේ යතුරුපැදියක් රන් මාලයක් ද ඔවුන් සතුව තිබී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි.

සොරාගත් වාහන මිල දී ගෙන ඇති බව කියන වාහන අමතර කොටස් ව්‍යාපාර පවත්වා ගෙන යන ධනවත් ව්‍යාපාරිකයන් දෙදෙනකු සහ මහරගම ප්‍රදේශයේ වාහන බ්‍රෝකර්වරයකු ලෙස කටයුතු කරන පුද්ගලයකු ද සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

මෙම වාහන හා යතුරුපැදිය පාර්ලිමේන්තු පාරේ, බිංගිරිය, ගිරිඋල්ල, නිට්ටඹුව, පන්නල, කුලියාපිටිය, අත්තනගල්ල සහ මීරිගම යන ප්‍රදේශයන්හි පිහිටි වාහන අංගනවල නතර කර තිබිය දී සොරාගෙන ගොස් ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.

කුලියාපිටිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිරංජන් අබේවර්ධන මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වා කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පුෂ්පිත ගුණරත්න මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබ ඇත. කුලියාපිටිය ප්‍රදේශයේ නිවසක් අසල නතර කර තිබිය දී සොරාගත් වෑන් රථයක් සම්බන්ධයෙන් කුලියාපිටියේ සිට මහරගම ප්‍රදේශය දක්වා පිහිටි සීසීටීවී කැමරා 400ක පමණ රූපරාමු සතියක කාලයක් තිස්සේ පොලිසිය විසින් පරීක්ෂාවට ලක් කරනු ලැබ ඇති අතර, සොරා ගත් වෑන් රථය සම්බන්ධයෙන් හෝඩුවාවක් එක් රූප රාමු පෙළකින් දක්නට ලැබී ඇතැයි පොලිසිය සඳහන් කරයි.



ඒ ඔස්සේ පරීක්ෂණ පවත්වා නාරම්මල ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික දෙවැනි ලුතිනන්වරයා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. ඔහුගෙන් ප්‍රශ්නකර හෙළිකරගත් තොරතුරු මත මෙම වාහන සොරාගැනීමට හවුල් වූ බව කියන හෙට්ටිපොළ ප්‍රදේශයේ පුද්ගලයකු ද සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි පොලිසිය පවසයි. කොළඹ ප්‍රදේශයේ පදිංචි ධනවත් ව්‍යාපාරිකයන් දෙදෙනා සහ මහරගම ප්‍රදේශයේ පදිංචි වාහන බ්‍රෝකර්වරයා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන් පසුවය.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය