imran-khan-arrest-lahore-police

පකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට එරෙහිව දූෂණ සහ ත්‍රස්තවාදය සම්බන්ධයෙන් චෝදනා පනවා ඔහු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු දෙකක් භාර දීමට  ලාහෝරයේ ඉම්රාන් ඛාන්ගේ නිවස වෙත පොලිසිය පැමිණීම සමග කාන්ගේ ආධාර කරුවන් රට පුරා කලබල ආරම්භ කර තිබේ.
පැය කිහිපයක් තිස්සේ පොලිසියට ඉම්රාන් කාන්ව අත්අඩංගුවට ගෙන පිටව යන්නට නොහැකිවූ අතර ඇතිවූ මහජන කැළඹීලි මැඩපැවැත්වීමට විශේෂ මෙහෙයුම් අරඹා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
සඳුදා, ඉස්ලාමාබාද්හි සැසිවාර උසාවියක් රජයේ පරිත්‍යාග සම්බන්ධ දූෂණ නඩුවකට ඉම්රාන් ඛාන් කැඳවා තිබූ නමුත් ඛාන් නැවත නැවතත් නඩු විභාගය මඟ හැරීමෙන් පසු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කළේය.

සෙනසුරාදා වන විට ඛාන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය පොලිසියට නියෝග කළේය.
ඉම්රාන් කාන් රැගෙනයන්නට නොදී ආධාරකරුවන් සිය ගණනක් ඔහුගේ නිවසින් පිටත රැස්ව සිටි අතර නිලධාරීන් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර එවුන් විසුරුවීමට උත්සාහ කරන ලදි.
  ඉම්රාන්  ඛාන් ට්විටර් වෙබ් අඩවියේ වීඩියෝ පණිවිඩයක් පළ කරමින් කියා සිටියේ, ඔහුව අත් අඩංගුවට ගත්තොත් ඔහුගේ ආධාරකරුවන් ඔවුන්ගේ අයිතීන් සඳහා - "සැබෑ නිදහස සඳහා" සටන් කළ යුතු බවයි. එහිදී අදහස් දක්වමින් ඛාන් පවසන්නේ ඉදිරි මැතිවරණ ක්‍රියාවලියෙන් ඔහු නුසුදුස්සෙකු කිරීම සඳහා ඔහු අත්අඩංගුවට ගැනීමට රජයට අවශ්‍යවී ඇති බවයි.
නැගෙනහිර ලාහෝර් නගරයේදීද පාකිස්තාන පොලිසිය සහ ඛාන්ගේ ආධාරකරුවන් අතර ගැටුම් හටගෙන තිබේ.
ඉම්රාන් ඛාන්ගේ පාලන කාලය තුළදී රජයට ලැබුණ පරිත්‍යාග විකුණා දැමීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබේ. ඛාන්ට එරෙහි සමහර චෝදනා නීතිමය තත්වයෙන් ඔප්පු කළ නොහැකි නිෂ්ඵල ඒවා යැයිද කියනු ලැබේ.
ඛාන් සඳහා නිකුත් කර ඇති අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු ඉටු කිරීමට පන්ජාබ් පොලිසිය ඉස්ලාමාබාද් පොලිසියට සහාය වන බවද පසුව වාර්තා විය.ලාහෝර්හි ඛාන්ගේ නිවස වටලන විට පොලිසියට උපකාර කිරීම සඳහා ප්‍රාදේශීය වශයෙන් රේන්ජර්ස් ලෙස හැඳින්වෙන පැරාමිලිටරි හමුදාවද කැඳවා ඇති බව වාර්තා විය.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පීටීඅයි නායක ෆවාඩ් චෞද්‍රි කියා සිටියේ උසාවිය විසින් නව දිනයක් නියම කර ඇති බැවින් පොලිසිය සිය මෙහෙයුම අවසන් කර අධිකරණ නියෝග සඳහා රැඳී සිටිය යුතු බවයි.


රාජ්‍ය පරිත්‍යාග අලෙවි කළ බව කියන ඛාන්ට එරෙහිව වරෙන්තුවක් නිකුත් කිරීම පීටීඅයි පක්ෂය අභියෝගයට ලක් කර තිබේ. නඩුව අඟහරුවාදා විභාගයට ගන්නා ලෙස පාර්ශවය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වූ අතර, විභාගය බදාදා දිනට පැවැත්වීමට නියමිතය.

අල් ජසීරා හි වාර්තා කරන්නේ ලාහෝර්හි පොලිසිය සහ ඛාන්ගේ ආධාරකරුවන් අතර ගුටිබැට හුවමාරුවට අමතරව දැන් පාකිස්තානයේ අනෙකුත් ප්‍රදේශවල විරෝධතා පැවැත්වෙන බවයි. කරච්චි නගරයේ ස්ථාන කිහිපයක විරෝධතා ඇරඹී ඇති අතර මෙය ලාහෝරයෙන් ඔබ්බට ගොස් ඛාන්ට විශාල සහයෝගයක් ඇති අනෙකුත් නගරවලට බලපෑම් කිරීමට ඉඩ තිබේ.

ඛාන්ගේ නිවස පිහිටි ලාහෝර් ප්‍රදේශයේ ජංගම සංඥා අවහිර වී  ඇති බවත් දේශීය රූපවාහිනී නාලිකා ද  විකාශනය කිරීම නතර කර ඇති බවත් වාර්තා විය.
 බලුකිස්තානයේ නිරිතදිග පළාතේ විරෝධතාකරුවන් ප්‍රධාන අධිවේගී මාර්ගයක් අවහිර කර ඇති අතර එය පළාත් අගනුවර වන ක්වෙටා සහ පාකිස්තාන-ඇෆ්ගනිස්ථාන දේශසීමාවේ පිහිටි නගරයක් වන චමන් සමඟ සම්බන්ධිත එකකි.
රටේ උතුරු ප්‍රදේශයේ ගිල්ගිට් සහ ඉස්ලාමාබාද් අගනුවරට ආසන්නයේ පිහිටි රාවල්පින්ඩි හිද විරෝධතා වාර්තා වේ.