රාජ්‍ය ව්‍යවසායන් 07ක රජය සතු කොටස් අයිතිය පැවරීමට අනුමැතිය හිමිවූ බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය ඊයේ (23) සවස නිල වශයෙන් නිවේදනය කර තිබේ. අයිඑම්එෆ් ණය ලබාගැනීමට එකඟවූ පොරොන්දු ඉටු කිරීමක් ලෙස හෝ සියල්ල විකිණෙන පසුබිමේ ‘බොරදියේ මාළු බෑමක්‘ ලෙස මෙම වෙනස්කම් සිදුවන බවට කතා පවතී. ඒ අනුව ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ රජය සතු ඉතිරි කොටස් අයිතිය විකිණිමට යන්නේය.
එය ලබා ගැනීම සම්බන්ධයෙන් ඉන්දීය සමාගම් දෙකක් වන අදානි හා ලයිකා මොබයිල් මහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා පවත්වා ඇති බව විදුලි සංදේශ සේවක සංගමයේ ජ්‍යෙෂ්ඨ උප ලේකම් ජගත් ගුරුසිංහ හෙලි කර තිබේ.
රජය සතු ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ ඉතිරි කොටස් විකිණීමට තීරණය කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් කටයුතු කිරිමට මහා භාණ්ඩාගාරය තුළ කමිටුවක් පත්කර ඇති බවත් එම සමාගම් දෙක සාකච්ඡා පවත්වා ඇත්තේ එම කමිටුව සමඟ බවත් ඔහු පවසයි.
එමෙන්ම ගුරුසිංහ මහතා පවසන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් ඉතිරි කොටස් විකිණීම සම්බන්ධයෙන් ආණ්ඩුව කොළඹ කොටස් වෙළඳපොළට මාර්තු 20 වැනිදා දැනුම් දී ඇති බවයි.
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සතු රජයේ කොටස් හා ලංකා හොස්පිටල්ස් සමාගමේ රජය සතු කොටස් විකිණීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුණ බව එම සමාගම්වල අධ්යක්ෂ මණ්ඩලවලට මහා භාණ්ඩාගාරයේ ලේකම් මහින්ද සිරිවර්ධන දැනුම් දී තිබුණ අතර ඊයේ සවස නිවේදනය සමග එම කරුණු සනාථවිය.
ලාභ ලබන රාජ්‍ය ආයතන විකිණීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබා ගැනීමේ කොන්දේසියක්ද යන්න විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ නගාතිබූ ප්‍රශ්නයට පිලිතුරක් ලැබී තිබුනේ නැත.
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ කොටස්වලින් සියයට 49.50ක් රජයට අයත් අතර ලංකා හොස්පිටල්ස් කොටස්වලින් සියයට 51.34ක් රජය වෙනුවෙන් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට අයත්ය.
සුබාෂ්කරන් ව්‍යාපාරිකයා ලයිකා මොබයිල් සමාගම මේ වනවිට ස්වර්ණවාහිනී ඇතුළු රූපවාහිනී හා ගුවන් විදුලි නාලිකා කිහිපයකම හිමිකාරිත්වය ලබාගෙන ඇති අතර ගෞතම් අදානි සතු අදානි සමාගම කොළඹ වරායේ බටහිර පර්යන්තය ඇතුළු උතුරු ප්‍රදේශයේ සුළං විදුලි ව්‍යාපෘති කිහිපයක් ලබාගෙන ඇත.
0 Comments