paffrel-speaks

මූල්‍ය ගැටලුවට විසඳුමක් ලෙස කිසියම් පාර්ශ්වයක් විසින් මුදල් සපයන්නේ නම්, පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට රජය සූදානම් යන්න අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් විමසා සිටි බව පැෆ්රල් සංවිධානය සදහන් කරයි. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට ප්‍රධාන බාධකය ලෙස රජ්ය පෙන්වා දෙන්නේ, මුදල් ගැටලුවක් බවත්, මේ නිසා අග්‍රාමත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් මේ  පිළිබඳ හා තවත් කරුණු කිහිපයක් පිළිබඳ ලිඛිතව විමසා සිටි බවත් එම සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.

මේ වනවිට පළාත් පාලන ඡන්ද විමසීම කිසිදු නීත්‍යනුකූල පදනමකින් තොරව,

දින නියමයක් නොමැතිව, කල් යන ආකාරයට ආණ්ඩුව විසින් කටයුතු කරමින් සිටින බවද හෙතෙම පවසා සිටියේය. ජය පරාජය දෙකම හොදින් අත්විද ඇති සර්වජන ඡන්ද බලයේ වටිනාකම සහ ව්‍යවස්ථාවේ හා පනත්වල ප්‍රතිපාදන  හොදින්ම දන්නා නායකයන් දෙදෙනෙකු වන ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් නායකත්වය දරද්දී නීතියෙන් බැහැරව ජනතාවගේ පරමාධිපත්‍ය අයිතිය පැහැර ගැනීමට කටයුතු කිරීම කනගාටුවට කරුණක් බවද විධායක අධ්‍යක්‍ෂවරයා ප්‍රකාශ කළේය.

ජනතාවට සාමකාමීව තම අදහස් ප්‍රකාශ කිරීමට ඇති ප්‍රජාතන්ත්‍රවාදී රාමුව බිඳවැටුණහොත් ඒ හරහා ඇති විය හැකි අහිතකර ප්‍රතිඵල පිළිබඳ වගකීමෙන්ද ආණ්ඩුවට මිදිය නොහැකි වනු ඇති බවද ඒ මහතා පවසා සිටියේය. මේ වනවිට සීමානිර්ණය ඇතුළු මැතිවරණ ප්‍රතිසංස්කරණ ගණනාවක් යෝජනා වී තිබෙන බවත්, මේ නිසා ඡන්ද  විමසීම පැවැත්වීමට ප්‍රධාන බාධකය ලෙස රජ්ය පෙන්වාදෙන මූල්‍ය ගැටලුවට විසඳුමක් කිසියම් පාර්ශ්වයක් විසින් සපයන්නේ නම්,

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට රජය සූදානම්ද යන්න හා දැනටමත් අරඹා ඇති සීමානිර්ණය හරහා කොට්ඨාස ප්‍රමාණය හා සභිකයන් අඩු කිරීම සමග ක්‍රියාත්මක කිරීමට අපේක්‍ෂිත මැතිවරණ ක්‍රමය කුමක්ද යන්න හා සභික ප්‍රමාණය 50%ක් පමණ කප්පාදු කිරීමට තිබෙන සැලසුමට අනුව කාන්තා කෝටාව හා සම්මත කිරීමට නියමිත තරුණ කෝටාව යන දෙකම 25% බැගින් ඇතුළත් කරන්නේද සහ ඒ සඳහා අවශ්‍ය එකගතාවන් ලබාගෙන තිබේද යන්නත් විමසා සිටි බවත් විධායක අධ්‍යක්‍ෂවරයා සදහන් කළේය.
 ඉන්දික හේවාවිතාරණ