sisira-jayakody-speaks

ලබන මස විසිපස්වැනිදා පළාත් පාලන මැතිවරණය නොපැවැත්වෙන බවත්, එළඹෙන නොවැම්බර් මාසයේදී ජනාධිපතිවරණයක් පැවැත්වෙන බවත් දේශීය වෛද්‍ය අමාත්‍ය සිසිර ජ්යකොඩි මහතා පැවසීය.  'ගමින් ගමට සුවධරණී’දීපව්‍යාප්ත වෛද්‍ය සායන මාලාවේ සමාරම්භක උත්සවය පෑලියගොඩ ජයතිලකාරාම විහාරස්ථානයේදී පෙරේදා (18දා) පැවැති අවස්ථාවේදී ඇමතිවරයා මේ බව කියා සිටියේය. එහිදී තවදුරටත් අදහස් පළ කළ රාජ්‍ය ඇමැතිවරයා,

"රට පුරා පළාත් පාලන ආයතනවල සභිකයන් අටදහසක් පමණ ඉන්නවා. මේක රටට  බරක් නිසා තමයි සීමා නිර්ණ කොමිසමක් පත් කරලා එම සභික ප්‍රමාණය අඩු කරන්න පියවර ගත්තෙ. එහි වාර්තාව ලැබුණු සැණින් ඉදිරි කටයුතු කරන්න සූදානම්. ඒ කියන්නේ මැතිවරණය කල් දානවා කියන එක නෙමෙයි.

අපි කිසිසේත්ම මැතිවරණ කල්දාන්නෙ නෑ. අපි හැකි ඉක්මනින් පළාත් පාලන මැතිවරණය පවත්වනවා. හැබැයි ලබන අප්‍රේල් විසිපස්වැනිදා පළාත් පාලන මැතිවරණය  පැවැත්වෙන්නේ නැහැ. ලබන නොවැම්බර් මාසයේදී ජනාධිපතිවරණය පැවැත්වෙන බව නම් කිවහැකියි.

ජෝෂප් ස්ටාලින්ලගේ ලංකා ගුරු සංගමය ඇතුළු ත්‍රස්තවාදී ගුරු සංගම් කරන්නේ මේ රටට මහ අපරාධයක්, 2021 සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වුණේ 2022 වසරේ. 2023 වසරේ උසස් පෙළ පන්ති සමහර පාසල්වල මේ වනතෙක් පටන් අරන් නෑ. පැවැති උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර බලන ගුරුවරුන්ගේ ගෙවීම් දෙගුණයකින් වැඩි කරලත් තාම වැඩේ පටන් අරගෙන නෑ. මේ වෙනකොට විශ්වවිද්‍යාල ආචාර්යවරුත් වර්ජනයක් ආරම්භ කරලා. විශ්වවිද්‍යාලයක ගුරුවරුන්ගේ මාසික වැටුප රුපියල් ලක්ෂ අටක් පමණ වෙනවා. කථිකාචාර්යවරයකුගේ මාසික වැටුප රුපියල්  ලක්ෂ හතරහමාරක්. ඒ අයගෙ දරුවෝ  ඉගෙනගන්නේ පිටරටවල.



ඔවුන්ට මේ රටේ ප්‍රශ්න නෑ. මේ දගලන්නේ පිටරට ඉගෙනගත්ත ළමයින්ට යවා ගන්ත සල්ලි මදිවෙයි කියලා බයට මේව පිටිපස්සේ ඉන්නේ ඉතිහාසයේ හැමදාමත් රට වට්ටන්ත වෙර දරපු දේශපාලන නායකයෝ. ඔවුන් තමයි මේ රටට ඩොලර් එවන්න එපා කියලා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ. මේ වගේ නායකයන්ගේ දේශපාලන සදාචාරය හා ප්‍රතිපත්තිය මොකක්ද, පුළුවන් නම් ප්‍රසිද්ධියේ  ප්‍රකාශ කරන්න කියලා මම කියනවා” යනුවෙන් කියා සිටියේය.

 ශාන්ත ප්‍රදිප් කුමාර කුලරත්න