morawaka-incident

රාජකාරි වේලාව තුළ කල්බදු සමාගමක පුද්ගලයකු සමග එක්ව මාතර මොරවක ප්‍රදේශයේ කාන්තාවකගේ නිවෙසකට ගොස්, වාරික නොගෙවූ කැබ්රථයක් බලහත්කාරයෙන් රැගෙන ගිය පොලිස් සැරයන්වරයකු සහ කල්බදු සමාගම් සේවකයකු අත්අඩංගුවට ගත් බව මොරවක පොලිසිය කියයි. සැකකාර පොලිස් සැරයන්වරයා  පොලිස් විශේෂ කාර්යාංශයේ ඕපනායක පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරමින් සිටි අයකු බවද පොලිසිය සඳහන් කරයි. සැකකාර සැරයන්වරයා ඉකුත් 20 වැනිදා රාත්‍රියේ රාජකාරියේ නිරතව සිටි අතරතුර එම කල්බදු සමාගමේ පුද්ගලයා සමග මොරවක ප්‍රදේශයේ කාන්තාවකගේ නිවසට ගොස් ඇති බව පොලිසිය පවසයි.



සැකකාර සැරයන්වරයා පැමිණිලිකාරියගේ කාමරයට ගොස් ඇයගෙන් යතුර ලබාගෙන කල්බදු සමාගමේ පුද්ගලයා වෙත යතුරු දී ඇති බවත්, එම පුද්ගලයා යතුර ගෙන නිවසේ තිබු කැබ්රථය රැගෙන ගොස් ඇති බවත් පොලිසිය  කියයි. එම අවස්ථාවේ නිවසේ සිටි කාන්තාව පොලිස් නිලධාරියාට පුටුවකින් පහර දී අවට පිරිස් වලින් ආධාර ඉල්ලා කෑ ගසා ඇති අතර ඇයගේ කෑ ගැසීම ඇසී අවට පිරිස් නිවෙසට පැමිණ සැරයන්වරයා අල්ලාගෙන පහර දී කණුවක ගැටගසා ඇති බවද පොලිසිය පවසයි.

අවට සිටි පිරිස සැකකාර සැරයන්වරයා ලවාම ඇමතුමක් ගෙන කැබ්රථය රැගෙන පලාගිය සැකකරු සිද්ධිය වු නිවෙසට ගෙන්වාගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි. පසුව නිවැසියන් කැබ්රථය ලබාගෙන සැරයන්වරයා හා කල්බදු සමාගමේ පුද්ගලයා මුදාහැර ඇති බව පොලිසිය කියයි. කාන්තාව කැබ් රථයේ වාරික නියමිත අයුරින්  නොගෙවා ඇති බැවින් එය රැගනෙ යාමට සැරයන්වරයා සමග පැමිණි බවට කල්බදු සේවකයා ප්‍රකාශ කර ඇත.  එම කාන්තාව මේ සම්බන්ධයෙන් මොරවක පොලිසියට පෙරේදා (22) කළ පැමිණිල්ලකට අනුව පොලිසිය පරීක්ෂණ පවත්වා සැකකාර සැරයන්වරයා සහ කල්බදු සමාගම් සේවකයා අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. මොරවක පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
 ඉන්දිකා රාමනායක