aluthgama-fake-couple

බන්ධනාගාර ගතව සිටින රැඳවියකුගේ මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩුවක රස පරීක්ෂක වාර්තාවක් කඩිනමින් ලබාදෙන පොරොන්දුව මත බන්ධනාගාර ගත රැදවියාගේ බිරියගෙන් රුපියල් ලක්ෂ 6ක මුදලක් ලබාගෙන ඇති ව්‍යාජ ලෙස පෙනී සිටි රස පරීක්ෂක යුවළක් අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලිසිය කියයි. පැමිණිලිකාරිය අලුත්ගම පදිංචිකාරියක බවත් ඇයගේ ස්වාමියා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අධිකරණය දුන් දඬුවමකට බන්ධනාගාරගතව සිටින්නෙකු බවත් එම රැඳවියා ගේ රස පරීක්ෂක වාර්තාව කඩිනමින් ලබා දීමට හැකි බව පවසා අඹු සැමි යුවලක් රස පරීක්ෂක වාර්තාව ඉක්මනින් ලබාදීම හැකි බව පවසා රුපියල් ලක්ෂ හයක මුදලක් ලබා ගෙන තිබෙන  බවත්  පොලිසිය කළ පරීක්ෂණ වලින් හෙළිවී ඇත.



ඇයට මෙය ව්‍යාජයක් බව තේරීමෙන් රුපියල් ලක්ෂ හය ගත් පාර්ශ්වයට විටින් විට කළ පෙරැත්තය මත එම මුදලින් රුපියල් ලක්ෂ හතරක් ඇය ලබාගත් බවත් ඉතිරි රුපියල් ලක්ෂ දෙකක මුදල නොදීම සම්බන්ධයෙන් අලුත්ගම පොලිසියට එම කාන්තාව කළ පැමිණිල්ල අනුව බේරුවල පිංහේන ජනපදයේ පදිංචි යුවළක් අලුත්ගම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නමින් ව්‍යාජ ලෙස පෙනී සිටින එම යුවළ කළුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.  අලුත්ගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත කුමාර අත්තනායක මහතාගේ උපදෙස් මත පොලිස් නිලධාරීන් පිරිසක් මෙම යුවළ අත්අඩංගුවට ගෙන තිබේ. උප පොලිස් පරීක්ෂක රාජකරුණා මහතා අධිකරණ කටයුතු සිදු කරයි.
තුසිත කුමාර ද සිල්වා