moon-new-costume

එක්සත් ජනපදයේ නාසා ආයතනය මගින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති මිනිසුන් සහිත මීළඟ චන්ද්‍ර මෙහෙයුම වන Artemis මෙහෙයුමේදී චන්ද්‍රයා වෙත යන ගගනගාමීන්  පලඳිනු ලබන නවතම අභ්‍යවකාශ ඇඳුම් කට්ටලය පසුගියදා ටෙක්සාස් ප්‍රාන්තයේ හූස්ටන් හිදී එළිදැක්වුණි.  මෙම නවතම අභ්‍යවකාශ ඇඳුම මූලිකව කළුපැහැයෙන් යුක්තය. එසේම එහි තැඹිලි සහ නිල් පැහැයද ඇතුළත් කර තිබේ. මෙම ඇඳුම  ගගනගාමීන්ගේ සිරුරට වඩාත් සරිලන, නම්‍යශීලී ආකාරයෙන් නිපදවා ඇත. ඒ අනුව, නාසා ආයතනය දැනට දශක කිහිපයකට පෙර ක්‍රියාත්මක කළ සුප්‍රසිද්ධ ඇපොලෝ මෙහෙයුමේදී ගගනගාමීන් ඇදි බරසාර අභ්‍යවකාශ ඇඳුමට වඩා මෙය හුරුබුහුටි ඇදුමකි.



මෙම ඇඳුම ඔවුන් Axiom Extravehicular Mobility Unit හෙවත් AzEMU ලෙස නම් කර තිබේ. තවමත් මූලාකෘතියක් ලෙස ඉදිරිපත්ව ඇති මෙම නවතම අභ්‍යවකාශ ඇදුම සම්බන්ධයෙන් තවදුරටත් පර්යේෂණ සහ වැඩිදියුණු කිරීම් සිදුකළ යුතුව ඇතැයි නාසා ආයතනය පවසයි. නාසා ආයතනය මෙම නවතම අභ්‍යවකාශ ඇඳුම නිර්මාණයේදී සුප්‍රසිද්ධ ඇදුම් මෝස්තර නිර්මාණශිල්පියෙකු වන ඊස්ටර් මාර්කියුස්ගේ සහායද ලබාගෙන තිබේ. ඔහු AppleTv+ හි විකාශය වූ  චන්ද්‍රයා හා සම්බන්ධ කතාමාලාවක් වූ For All Mankind හි ඇඳුම් නිර්මාණශිල්පියාද වෙයි.

එසේම හූස්ටන්හි පිහිටි Axiom Space සමාගම එය නිෂ්පාදනය කර  තිබේ. ඒ සඳහා නාසා ආයතනය මගින් එම සමාගමට පිරිනැමූ කොන්ත්‍රාත්තුවේ වටිනාකම ඇ.ඩො.මිලියන 228.5කි. මෙම එළිදැක්වීමේදී එම සමාගමේ ප්‍රධාන ඉංජිනේරු ජිමි ස්ටෙයින් මෙම නවතම අභ්‍යවකාශ ඇඳුම ආදර්ශනය කර පෙන්නුවේය.

වාර්තා සදහන් කරන ආකාරයට නාසා ආයතනයේ Artemis මෙහෙයුමේ තෙවැනි අදියර Artemis-III අවස්ථාවේදී ගගනගාමීන් මෙම අභ්‍යවකාශ ඇඳුම ඇදීමට සැලසුම් කර ඇත. එහිදී ඔවුන් චන්ද්‍රයාගේ දකුණු ධ්‍රැවයේ ගමන් කරනු ඇතැයි පැවසෙයි. ඒ අනුව, නවීන තාක්ෂණයෙන් නිර්මාණය කළ මෙම ඇදුම මගින් චන්ද්‍ර ගවේෂකයන්ට වඩා වැඩි සංචලතාවක් සහ ආරක්ෂාවක් ලැබෙන බව නාසා පවසයි. එසේම හිසෙහි පිහිටුවා ඇති විශාල, වඩාත් පැහැදිලි බුම්බුලාකාර හැඩය නිසා ගගනගාමීන්ට තමන්ගේ අවට පරිසරය වඩාත් හොඳින් දැකගත  හැකිය.

කෙසේ වෙතත්, මෙම AzEMU අභ්‍යවකාශ ඇඳුමේ අවසන් හැඩය පිළිබඳ කාරණා තවදුරටත් රහසක් ලෙස පවත්වාගෙන යාමට නාසා ආයතනය කටයුතු කර තිබේ. එහිදී විශේෂයෙන්ම මෙම අභ්‍යවකාශ ඇදුම සදහා යොදාගෙන ඇති ආරක්ෂිත ස්ථරය පිළිබඳව කාරණා සම්පූර්ණයෙන්ම රහසක් ලෙස පවතිනු ඇතැයිද සදහන් වෙයි. නාසා ආයතනය දැනටමත් මෙම Artemis චන්ද්‍ර මෙහෙයුම යටතේ පළමුවැනි අදියර(Artemis 1) සාර්ථක ලෙස අවසන් කිරීමට සමත්ව සිටියි. එහිදී මිනිසෙකු රහිතව කක්ෂගත කෙරුණු Orion යානය පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී චන්ද්‍රයාගේ කක්ෂය වෙත ගොස් සති හතරකට පසුව නැවතත් පෘථිවිය වෙත පැමිණීම සිදුවිය.

මෙම Artemis චන්ද්‍ර මෙහෙයුම නාසා ආයතනය සිදු කළ ඇපොලෝ චන්ද්‍ර මෙහෙයුමේ මීළඟ අදියර ලෙස සැලකෙයි. ඒ අනුව, ග්‍රීක මිථ්‍යාවන්හි එන ඇපෝලෝගේ සහෝදරිය වන Artemis නමින් මෙම චන්ද්‍ර මෙහෙයුම නම් කර තිබේ.  මෙම නවතම Artemis චන්ද්‍ර මෙහෙයුමේ සාර්ථකත්වය අනුව ඉදිරියේදී චන්ද්‍රයා වෙත සහ ඉන් ඔබ්බට සිදුකරන මිනිසුන් සහිත මෙහෙයුම්හි සාර්ථකත්වය වෙත මගපාදනු ඇතැයි සෑම දෙනාගේම විශ්වාසය වී තිබේ.

මේ අතර නාසා ආයතනයේ වාර්තා අනුව මෙම Artemis චන්ද්‍ර මෙහෙයුමේ මීළඟ අදියර යටතේ ක්‍රියාත්මක මෙහෙයුම සදහා සම්බන්ධ වීමට තෝරාගෙන ඇති ගගනගාමීන් සිවුදෙනා ලබන මාසයේදී හෙළිදරව් කිරීමටද නියමිතව තිබේ.

මෙහිදී බොහෝ විට කාන්තා ගගනගාමියෙකු මෙන්ම ප්‍රථම වරට එක්සත් ජනපදයේ වෙසෙන කළු ජාතික ගගනගාමියෙකුටද අවස්ථාව හිමිවීමට නියමිතව තිබේ. 1969 වසරේ සිට 1972 දක්වා කාලයේදී ක්‍රියාත්මකවූ ඇපොලෝ අභ්‍යවකාශ මෙහෙයුම් හයකදී මිනිසුන් සහිත යානා චන්ද්‍රයා වෙත ගොඩබස්සවා තිබේ. එහිදී චන්ද්‍රයා මත පා සටහන තැබූ පළමුවැනි මිනිසා වන නීල් ආම්ස්ට්‍රෝන්ග්ට පසුව මේ දක්වා මිනිසුන් 12දෙනෙකු චන්ද්‍රයා මත පා තබා තිබේ.