marawila-incident

මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ වශයෙන් සේප්පුවක බහා තිබූ රුපියල් ලක්‍ෂ  22කට ආසන්න මුදලක් අස්ථානගත වීම සම්බන්ධයෙන් මාරවිල මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශය පරීක්‍ෂණ  පවත්වාගෙන යයි. මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය විසින් ඊයේ 20 වැනිදා සවස රාජකාරි අවසන් කර, අධිකරණය වසා දැමීමට පෙර සේප්පුව පරීක්ෂා කර බලා ඇතැයි පොලීසිය පවසයි. මේ අවස්ථාවේ සේප්පුව තුළ බහා තිබූ රුපියල් ලක්‍ෂ 22කට ආසන්න මුදලක් අස්ථානගත වී ඇති බව දැක ඇතැයි ද පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.



මුදල් අස්ථානගත වීම සම්බන්ධයෙන් රෙජිස්ට්‍රාර්වරිය ඊයේ සවස් කාලයේ මේ සම්බන්ධයෙන් මාරවිල මූලස්ථාන පොලීසියට පැමිණිලි කර ඇත.  මෙම සේප්පුව භාරව නිලධාරියෙක් හා නිලධාරිනියක කටයුතු කරන බවත් රෙජිස්ට්‍රාර්වරිය පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වන බව කියති. මොවුන් දෙදෙනා ද පොලීසියට කැඳවා මෙම මුදල් අස්ථානගත වීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට පොලීසිය කටයුතු යොදා ගෙන යයි. මෙම මුදල් අස්ථානගත වීම සම්බන්ධයෙන් තවම නිශ්චිත තොරතුරක් අනාවරණය වී නොමැති බව ද පොලිස් ආරංචි මාර්ගවලින් තවදුරටත් දැනගැනීමට තිබේ.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය