kahatagasdigiliya-incident

නැති වූ මී හරක් බාන සොයා කහටගස්දිගිලිය කිරි ඉබ්බන් වැව ගව පට්ටියකට ගිය ගව හිමියකු ගව ගාල අසලට ගොස් “කොල්ලා " කොල්ලා" යැයි හඬ නගා ආමන්ත්‍රණය කළ අවස්ථාවේ ගව පට්ටිය මැදින් හඬ තලමින් එම ගවයන් දෙදෙනා ගව හිමියාගේ පා මුලට ආ පුවතක් කහටගස්දිගිලියෙන් වාර්තා වේ.  වාහල්කඩ පොලිස් වසමට අයත් බෙල්ලන්කඩවල “14 කනුව” ප්‍රදේශයේ මී ගව පට්ටියකින් මීහරක් බානක් කිසියම් පිරිසක් ඉකුත් 18 වැනි දා සොරකම් කරගෙන ගොස් තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව කණුගහ වැව ප්‍රදේශයේ දී සැකපිට පස් දෙනකු අත්අඩංගුවට ගෙන ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හොරකම් කරන ලද මී ගවයින් දෙදෙනා සිංහයා උල්පත කැලෑව තුළ සඟවා, පසුව, එම මී හරක් බාන කහටගස්දිගිලිය කිරි ඉබ්බන් වැව ප්‍රදේශයේ අයකුට මස් පිණිස අලෙවි කළ බවට ඔවුහු පොලිසියට පැවසූහ.

පොලීසිය, වහාම ක්‍රියාත්මක වී සැකකරුවන්ද සමග කහටගස්දිගිලිය කිරි ඉබ්බන් වැව ප්‍රදේශයට ගොස් අදාල හරක් පට්ටිය වෙත ළඟාවී ඇත.මීහරක් ගාල තුළ මී ගවයන් පනහක් හැටක් පමණ සිටි බවත්, රාත්‍රියේ ගණ කළුවර නිසා පැමිණිලිකරුට සොරකම් කරන ලද මී හරක් බාන  හඳුනාගැනීම ඉතාම දුෂ්කර වූ බව පොලිසිය සඳහන් කළේය.

එහෙත් පැමිණිලිකරු එම මීහරක් බානට අනවර්ථ නාමයක් භාවිතා කර ඇති අතර ඒ අනුව “කොල්ලා” “කොල්ලා” යැයි ඔහු හඬ නගා ආමන්ත්‍රණය කර ඇතැයි පොලිසිය කීය.  එම හඬ ඇසූ සැණින් මීහරක් බාන හරක් පට්ටිය මැදින් ඉතාම වේගයෙන් තම ස්වාමියා අසලට පැමිණි බවද මෙහිදී පොලීසිය පැවසීය.  මෙම මී ගවයන්ගේ වටිනාකම රුපියල් 950000 පමණ වන බවද පොලිසිය සඳහන් කරයි.

මී හරක් බාන මස් පිණිස මුදලට ලබා ගත් සැකකරු ප්‍රදේශයෙන් පැන ගොස් ඇති බව පවසන පොලීසිය හැකි ඉක්මනින් එම සැකකරු අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරන බව ද අවධාරණය කරයි.

18 දින මෙලෙස අත්අඩංගුවට ගත් එම සැකකරුවන් කනුගහ වැව ගමේ පදිංචි වයස 25 ත් 30 ත් අතර වයස්වල පසුවන්නන් වන අතර ඉන් දෙදෙනකු විවාහකයින් බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් පස්දෙනා ඊයේ (20) කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට  නියමිතව සිටියහ.

හේමන්ත රණසූරිය