kudu-singhithi-arrested

හිටපු නාවික භටයකු වන රවිදු වර්ණ රංග හෙවත් ‘බූරු මූණා’ නමැත්තා ලවා ද්විත්ව ඝාතනයක් සිදු කරවූ බව කියන කාන්තාවක හික්කඩුව කලුපේ ප්‍රදේශයේ දී ඊයේ (21) අත්අඩංගුවට ගත් බව හික්කඩුව පොලිසිය කියයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ‘සිඟිති’ නමැති කාන්තාවක වන අතර ඇය මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක බවද සඳහන් කරයි. අත්අඩංගුවට ගත් සැකකාරිය ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලියක් අතින් ඝාතනයට ලක්වූ සංවිධානාත්මක අපරාධකරුවකු වන කටා රොෂාන් නමැත්තාගේ නැගණියක බව ද පොලිසිය පවසයි. ඉකුත් ඔක්තෝබර් 31 වැනිදා මෙම දිවිත්ව ඝාතනය සිදුකර තිබුණේ හික්කඩුව ප්‍රදේශයේදීය.



සැකකාරිය එම ද්විත්ව ඝාතනය සිදු කිරීමට බූරු මූණා නමැත්තාට රුපියල් ලක්ෂ විස්සක මුදලක් ගිනි අවියක් ත්‍රීරෝද රථයක් සහ යතුරු පැදියක් ද ලබාදී ඇති බවට අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි. 31 හැවිරිදි සැකකාරිය හික්කඩුව නළාගස්දෙණිය පදිංචිකාරියකි. මීට අමතරව බූරු මූණා කටුනායක ගුවන් තොටුපොළ පොලිසියෙන් පලා යෑමෙන් අනතුරුව ඔහුට දින ගණනාවක් තිරප්පනේ නිවෙසක නවාතැන් පහසුකම් ලබාදීමට කටයුතු කළ බවට විමර්ශනවල දී අනාවරණය වූ ආබාධිත කෝප්‍රල්වරයකුගෙන් පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.

අවිස්සාවේල්ල ප්‍රදේශයේදී ඉකුත් 17 වැනිදා සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පැය 72ක කාලයක් රඳවා ගැනීමේ නියෝග මත ඔහුගෙන් ප්‍රශ්න කර ඇති අතර සැකකරු පසුගිය කාලය තුළ රැඳී සිට ඇත්තේ එම නිවසේ බවත් එහිදී හෙළිවී ඇත. ඔහු හංවැල්ල දසවේල්ල පාරේ සගවා තිබූ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට පොලිසියට හැකි වී තිබේ. ඔහු ඩුබාහි සැඟවී සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන හෝමාගම කිරිවත්තුඩුව බ්ලැන්කට්වත්තේ පදිංචිව සිටි ගගන නමැත්තා මාර්ගයෙන් තිරප්පනේ නිවසේ රැකවරණ ලබාගෙන ඇති බවද පොලිසිය කියයි.



එහි නිවැසියන්ට ගගන නමැත්තා පවසා ඇත්තේ යාපනේ විනෝද චාරිකාවක් යෑමට තවත් මිතුරන් කීප දෙනකු දින කිහිපකින් පැමිණෙන බවත් එතෙක් තම මිතුරාට නවාතැන් ලබාදෙන ලෙස ඉල්ලා ඇති බවත්ය. කෝප්‍රල්වරයාගේ ප්‍රකාශයකින් එය අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.  පොලිසියට කැඳවා ප්‍රකාශ  ලබාගත් ආබාධිත කෝප්‍රල්වරයාගේ බිරිඳගේ නිවස පිහිටා ඇත්තේ කිරිවත්තුඩුව බ්ලැන්කට්වත්ත ප්‍රදේශයේ බවත් පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.
 බිමල් ශනමන් ජයසිංහ