kandy-school-issue

මහනුවර ප්‍රසිද්ධ විදුහල් දෙකක් අතර පැවැති දෙවන පෙළ ක්‍රිකට් තරගයක් අතරතුර පුහුණුකරුට හා ක්‍රීඩා බාර ආචාර්යවරයාට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්වූ පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව පේරාදෙණිය පොලීසිය විමර්ශනයක් ආරම්භ කර ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයේ ඉකුත් 20 වැනිදා පැවැති තරගය අතරතුර මෙම පහරදීම සිදු කර ඇති බවට පොලීසියට පැමිණිලි ලැබී තිබේ.



සැකකාර පොලිස් පරීක්ෂකවරයාගේ පුතා එක් කණ්ඩායමක් නියෝජනය කරන අතර, සිද්ධිය වූ දින පැවැති දෙවන පෙළ තරගාවලියට ඔහු සහභාගි කර නොගැනීම සම්බන්ධයෙන් උරණ වී ඇති පොලිස් පරීක්ෂකවරයා, එහි පුහුණුකරු හා ක්‍රීඩා බාර ආචාර්යවරයා සමග බහින්බස් වී, මෙම පහරදීම සිදු කර ඇති බව ද පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම පොලීසියට පැමිණිලි කර ඇත. පේරාදෙණිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
 ඉන්දිකා රාමනායක