woman-recovers-camera-and-her-treasured-photos-13-years-after

2010 වසරේදී එක්සත් ජනපදයේ කොලරාඩෝහි පිහිටි ඇන්මාස් ගංගාව වෙත වැටුණු ඩිජිටල් කැමරාවක තිබූ ඡායාරූප, වසර 13කට පසුව සුරැකිව යළිත් ලබා ගැනීමට හැකි වීමේ පුවතක් විදෙස් මාධ්‍ය හරහා පසුගියදා වාර්තා විය. එම වාර්තාවලට අනුව මෙම කැමරාව කොලරාඩෝහි ඩුරාන්ගෝ පළාතේ පදිංචිව සිටි කොරාල් අමායි නමැති තරුණියකට අයත් වූවකි. 2010 වසරේ පැවැති සිය හොදම මිතුරියගේ මංගල උත්සවයෙන් අනතුරුව, වාතය පිරවූ ටියුබයක් ආධාරයෙන් අනිමාස් ගංගාවේ සිදුකළ පිහිනීමක් අතරවාරයේදී මෙම කැමරාව ගංගාවට වැටී තිබේ.

"මේ ටියුබයෙන් ගංගාවේ පහළට යමින් සිටින අතරතුරදී දියපහරකට හසුවෙලා මගේ ටියුබය පෙරළුණා.

ආයිත් මම ටියුබයට නැග්ගට පස්සේ මම කැමරාව හොයද්දී එය හමු වුණේ නෑ.” කොරාල් පවසා තිබේ.  ඒ වනවිටත් එම මංගල උත්සවයේදී ලබාගත් ඡායාරූප අතරින් බොහෝමයක් තමන්ගේ පරිගණකය වෙත ලබාගෙන නොතිබුණු බව වැටහී ගිය ඇය, ඒ සම්බන්ධයෙන් දැඩි ලෙස කම්පාවට පත්ව තිබේ.  කෙසේ වෙතත්, ඉන් වසර 13කට පෙරාතුව පසුගියදා මෙම ගංගාව ආසන්නයේ ගමන් කළ ස්පෙන්සර් ග්‍රෙනියර් නම් අයෙකු වෙත මෙම කැමරාව හමුව ඇත.

"මම මේ ගංගාව ආසන්නයෙන් යන කොට වැලි අතරින් එළියට ආපු වෙනස් දෙයක් දැක්කා. එය දැඩි පෙනුමක් ගත්තා. ඒ නිසා මට ඒ ගැන වැඩි බලාපොරොත්තුවක් තිබුණේ නෑ. එය පැත්තකට විසිකරලා දාන්න හදද්දී තමයි, මට තේරුණේ එහි යම් වෙනසක් තියෙනවා කියලා.” යනුවෙන් ස්පෙන්සර් පවසයි. ඒ අනුව, තවදුරටත් සිදුකළ විපරමේදී එය ඩිජිටල් කැමරාවක් බව ඔහුට පෙනී ගොස් තිබේ. ඒ අනුව, කැමරාවේ ඇති මතක විපය ගෙන එහි ඇත්තේ මොනවාද යන්න පිළිබඳ විමසා බැලීමේ කුකුසක් ඔහු තුළ ඇතිව තිබේ. ඒ සඳහා ඔහු ස්කුරුප්පු නියනක් ආධාරයෙන් එම චිපය පිහිටි ස්ථානයේ ඇති විවරය විවෘත කර ඇති අතර, ඒ වනවිටත් එහි තිබූ ජලය පිටතට පැමිණ තිබේ.

"මම හිතුවා මේක හරියාවි කියලා. ඊට පස්සේ මම ඒ විපය පරිගණකයට සම්බන්ධ කළා.

එය ක්ෂණිකවම කියෙව්වා. මම පුදුම වුණා. මම බැලුවා මේ හම්බවුණු මතක චිපයෙන් මට සොයාගන්න තියෙන සම්පත් මොනවාද කියලා.” යනුවෙන්ද ස්පෙන්සර් සඳහන් කරයි. ඒ අනුව ඔහු වෙත කොරාල් දැනට වසර 13කට පෙර ටියුබයේ සිටිද්දී ලබාගත් ඡායාරූප, ඇය සහභාගි වූ උපාධි  උත්සවයක ඡායාරූප මෙන්ම, ඇගේ හොදම යහළුවාගේ විවාහයේ ඡායාරූපද හමුවී තිබේ.

"මට වුවමනා වුණා මේ ඡායාරූපවල හිමිකරුවා කවුද කියන දේ හොයා ගන්න. ඒ නිසා මම ඩුරාන්ගෝ පළාතේ ෆේස්බුක් සමාජයක මේ ඡායාරූප අතරින් කිහිපයක් පළ කළා. එතැනදී මම කට්ටියගෙන් ඇහුවේ 2010 ජූනි 12 වැනිදා ඔබ විවාහ වුණාද?, ඔබගේ උපාධි උත්සවය සඳහා පැවැති සාදයේදී ලබාගත් මේ ඡායාරූපවල සිටින කවුරුත් හෝ හඳුනනවාද, එසේ නම් මාව සම්බන්ධ කරගන්න. කියලයි.”

ඒ අනුව පැයක් ගතවීමටත් පෙර මෙම ඡායාරූපවල සිටින පිරිස් හඳුනාගත් බවට ඇමතුම් රැසක් ඔහු වෙත ලැබී තිබේ. "පැය භාගයක් විතර ගියාට පස්සේ මට පණිවුඩයක් ආවා, මේ මංගල ඡායාරූප ඉන්නේ මමයි, මගේ බිරිදයි කියලා. ඔහු තමයි කොරාල් ඡායාරූප ගත්ත විවාහයේ මනාලයා. මෙච්චර ඉක්මනට වැඩ සිද්ධ වෙන එක ගැන මම පුදුම වුණා.” ස්පෙන්සර් පවසයි. එම දෙපළ විසින් මෙම සිදුවීම ගැන වහාම කොරාල් දැනුවත් කර තිබේ. ඒ වනවිටත් ඇය සම්මන්ත්‍රණයකට සහභාගි වෙමින් සිට ඇත.

"මේ සිද්ධිය ආරංචි වුණු ගමන් මම පුදුම වුණා. මම හිටපු තැනින් නැගිටලා නටන්න පටන් ගත්තා.” කොරාල් පවසයි. ඉදිරියේදී මෙම ඡායාරූප සියල්ලම කොරාල් වෙත යැවීමට ස්පෙන්සර්  සැලසුම් කර තිබේ. ඔහු පවසන ආකාරයට කොරාල්ගේ කැමරාව ගංගාව දිගේ  පහළට සැතපුම් 1.2ක දුරක් පැමිණ තිබේ.