imf-sri-lanka

ඊයේ (20) ශ්‍රී ලංකාවට ණය පැකේජය අනුමතකිරීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අද (21) ප්‍රකාශ කළේ රජය දැනට ක්‍රියාත්මක වන ආනයන සහ විනිමය සීමා කිරීම් පියවරෙන් පියවර ඉවත් කිරීමට අපේක්ෂා කරන බවයි.

“BOP සම්බන්ධ ආනයන සීමා කිරීම් සහ විනිමය සීමා කිරීම් පියවරෙන් පියවර ඉවත් කිරීම සඳහා බලධාරීන් විසින් සැලැස්මක් සකස් කරනු ඇත.

එම සැලැස්ම 2023 ජූනි මාසය වන විට අවසන් කිරීමට නියමිතයි,” IMF දූත මණ්ඩල ප්‍රධානී Masahiro Nozaki අද මාධ්‍ය මගින් මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීය.

ශ්‍රී ලංකාව මෑතකදී ආනයන සහ විනිමය සීමා කිරීම් කිහිපයක් ලිහිල් කළද, විදේශ විනිමය පරිවර්තනය පිළිබඳ නීති රීති සහ ඇතැම් ආනයනික පාරිභෝගික භාණ්ඩ සඳහා වූ තහනම තවමත් පවතී.

තවත් ප්‍රශ්නයකට පිලිතුරු දුන් IMF දූත මණ්ඩල ප්‍රධානී Masahiro Nozaki
IMF ලංකාවේ පළාත් පාලන මැතිවරණ ක්‍රියාවලියට මැදිහත් නොවූ බවත් ශ්‍රී ලංකාවේ එම මැතිවරණ කල් දැමීමට කිසිවිටෙක නිර්දේශ නොකළ බවත්ය.
“මම කියන්න කැමතියි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිසිම රටක මැතිවරණ, ආණ්ඩුකරණ ක්‍රියාවලියට කිසිසේත් මැදිහත් වන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ තත්ත්වය දෙස අවධානය යොමු කිරීමේ දී එය ශ්‍රී ලංකා රජයේ සහ ශ්‍රී ලංකා ජනතාවගේ කාරණයක්. නමුත් මැතිවරණයට අපේ මැදිහත්වීමක් ඇති බවට ගැන යම් යම් කරුණු පැතිර යනවා.

මම එය නිවැරදි කිරීමට කැමතියි. ජාත්‍යන්තර අරමුදල විදියට අපි පළාත් පාලන මැතිවරණය (Local election) කල් දැමීම කිසිම අවස්ථාවක නිර්දේශ කළේ නැහැ.“

ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙම ණය මුදලේ පළමු වාරිකය ලෙස ඩොලර් මිලියන 333 ක්  ඉදිරි දින කිහිපය තුළ නිකුත් කරන බවයි.

එම මුදල් රුපියල් බවට පත් කර රජයේ ණය සහ අනෙකුත් වියදම් ගෙවීමට යොදා ගත හැකි බව ද ඔහු පැවසීය.