arugambe-incident

පොතුවිල් අරුගම්බේ ප්‍රදේශයේ පිහිටි හෝටලයකින් ආහාර ගෙන ඒ සදහා රුපියල් පන්සීයක 500ක මුදලක් නොගෙවූ බව කියමින් ස්වීඩන් ජාතික සංචාරකයකුට පොල්ලකින් සහ අතින් පයින් පහර දුන් බව කියන එම හෝටලයේ අයිතිකරු හා සේවකයෙක් පොතුවිල් පොලිසිය විසින් පෙරේදා (19) අත්අඩංගුවට ගෙන තිබේ .



මෙම ස්වීඩන් ජාතිකයා උදෑසන ආහාරය ලබාගෙන ඒ වෙනුවෙන් රුපියල් 500ක මුදලක් නොගෙවා මගහැර සිටිය දී හෝටලය අසලින් ගමන් කරන අවස්ථාවේ ඔහු දැක මෙම පහරදීම සිදුකර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

පහර කෑම්වලින් බේරීමට මාර්ගය හරහා දිව යද්දී කාර් රථයක ගැටීමෙන් ස්වීඩන් ජාතිකයා රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් පසුවෙයි. මෙම හෝටලයෙන් උදෑසන ආහාරය ලබා ගැනීම වෙනුවෙන් රුපියල් පන්සියක මුදල ගෙවීමට ශ්‍රී ලංකා මුදල් නෝට්ටු නොතිබු නිසා එම මුදල ගෙවීමට නොහැකි වූ බව ස්වීඩන් ජාතිකයා  පොලිසියට පවසා ඇතැයි කියති. මෙම ස්වීඩන් ජාතිකයා සතුව තිබූ රුපියල් ලක්ෂ 3 ක් වටිනා ජංගම දුරකතනය සහ යුරෝ 300ක් ද කොල්ලකා ඇති බවට ඔහු පොලිසියට පැමිණිලි කර ඇත.


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය