hali-ela-incident

බදුල්ල හාලිඇල බෝගොඩ පිහිල්ලේ දිය කදුරෙන් එගොඩවීමට ගිය වයස 10 ක හා 7 ක අයියා නගෝ දෙදෙනකු ඊයේ (23) පස්වරුවේ සැඩදියපහරකට හසුව ගසාගෙන ගොස් අතුරුදහන්ව ඇතැයි හාලිඇල පොලිසිය පවසයි.

ඊයේ (23) පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ මොවුන් දෙදෙනා නිවසේ සිට පිහිල්ලේ කදුරට එගොඩගොඩේ නිවසක සිටි මව සොයා ගොස් ඇති අතර දෙදෙනා පිහිල්ලේ දිය කදුරට බැස එගොඩවීමට ගිය අවස්ථාවේ එක්වරම ගලා ආ සැඩදියපහරකට හසුව ගසාගෙන ගොස් ඇති බවත් පොලිසිය සදහන් කළේය.


ගම්වාසීහු සොයා බැලීමේදී සැඩපහරේ ගසාගෙන ගිය දරුවන් දෙදෙනා දියපහරකට හසුවූ ස්ථානයේ සිටි මීටර් 100ක පමණ දුරකින් දියකදුරේ අයිනේ තිබුන කුඩයක්, සරමක්, සෙරෙප්පු යුගලක් හමුව තිබේ දරුවන්ගේ සිරුරු තවම හමුවී නැත.
මෙම සිගිති දරුවන් දෙදෙනා මව සමඟ නිවසේ සිට ඇති අතර පියා කොළඹ රැකියාවක් කරන බවද පොලිසිය පැවසීය .

සැඩපහරේ ගසාගෙන ගිය සිගිති දරුවන් දෙදෙනා සෙවීමේ කටයුතු මේ වනවිටත් හාලිඇල පොලිසියේ නිලධාරීන් ගම්වාසීන් එක්වී ආරම්භ කර ඇත.
පවතින වර්ෂාවත් සමඟ පිහිල්ලේ දිය කදුරේ ජල පහර වැඩිහෙයින් සෙවීම් කටයුතු දුෂ්කරවී ඇත.
මෙම දරුවන් දෙදෙනා බෝගොඩ විද්‍යාලයේ 5 වන ශ්‍රේණියේ සහ 02 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන කොකටියමලුව  පදිංචිව සිටි බෝගොඩ  බෝදිපක්ශලාගේ යසිදු (10) සහ රශ්මි නිතීකා (7) යන අයියා නගෝ ය .
ඔවුන් මෙලෙස සැඩ පහරට හසුවී ඇත්තේ කුලී වැඩට ගිය මව නිවසට පැමිණීම පමා වීම හේතුවෙන් සොයන්නට යාමේදී බව ගම්වාසීහු පමසති.