buddha-rashmi-three-days

මෙවර වෙසක් උත්සවය ජාතික මෙන්ම, ප්‍රාදේශීය මට්ටමින් ඉතා උත්කර්ෂවත්ව සැමරිමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි සැලසුම් කර ඇති බව ජනාධිපති ලේකම් සමන් ඒකානායක මහතා සඳහන් කළේය.  ‘බුද්ධ රශ්මි වෙසක් කලාපය” සාර්ථක කර ගැනීම සඳහා රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ සියලු දෙනාගේ සහාය ලබා ගැනීම අපේක්‍ෂාව වන අතර, ඒ සඳහා සියලු දෙනා දායකවනු ඇති බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සඳහන් කළේය.



ජනාධිපති ලේකම්වරයා මේ බව සඳහන් කළේ ‘බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය'' පිළිබඳ ජනාධිපති කාර්යාලයේ පැවැති මූලික සාකච්ඡාවේදීය.  ‘‘බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය” 2023 මැයි 05, 06 සහ 07 යන තෙදින කොළඹ ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාල පරිශ්‍ර ආශ්‍රිතව පැවැත්වීමට නියමිතය.  මේ අතර ජාතික වෙසක් කලාපයක් ලෙස නම් කරමින් වැඩසටහන් රැසක් ද සමගින් එය සංවිධානය කර බව ඇති හුණුපිටිය ගංගාරාමාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ පැවසූහ.

වෙසක් මංගල්‍යය මහඟු අවස්ථාවක් බව පෙන්වා දුන් අස්සජි හිමියෝ රට ආර්ථික වශයෙන් යළි ශක්තිමත් වෙමින් පවතින මේ අවස්ථාවේ ධනාත්මකව සිතා යහපත් ප්‍රවේශයක් ලබා ගැනීමට සහ ජනතාවගේ අධ්‍යාත්මය පෝෂණය කිරීමට එය ඉවහල් වන බවද පැවසූහ.

මැයි මස 5 වැනි දිනට යෙදෙන වෙසක් පොහෝ දින, ගංගාරාම විහාරස්ථානයේ සිල් සමාදන් කරවීමේ වැඩසටහන පැවැත්වෙන අතර වෙසක් කලාපය කොඩි, ධජ පතාක, අටපට්ටම් කූඩු සහ විදුලි බුබුළුවලින් සැරසීම, මල් පෙරහර පැවැත්වීම, තොරණ සහ පහන් කූඩු ප්‍රදර්ශනය ඇතුළු වැඩසටහන් රැසක් ඊට සමගාමීව  සංවිධානය කර තිබේ.

බොදු බැති ගී ගායනය ජනාධිපති කාර්යාලය සහ ගංගාරාම විහාරස්ථානයේ ප්‍රධාන වේදිකාව ආශ්‍රිතව පැවැත්වීමට නියමිත අතර, ගංගාරාම විහාරස්ථානයේ සහ ජනාධිපති කාර්යාලය අසල වෙසක් දන්සල් පැවැත්වීමට ද නියමිතය. ආචාර්ය පල්ලේගම රතනසාර හිමියෝද, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

අංජුල මහික වීරරත්න