A-five-year-old-girl-and-an-unborn-baby-lost-their-lives-in-a-Kithulgala-three-wheeler-van-accident

අලුතින් පාසලට යන්න සුදු ඇඳුම් මසාගෙන එන අතරේ ගමන් කළ ත්‍රිරෝද රථය අනතුරට ලක්වීමෙන් පාසල් යාමට සිටි පස් හැවිරිදි දැරියක මියගොස් ඇගේ මවට බරපතල තුවාල සිදු කළ අනතුරක් කිතුල්ගතලදී වාර්තා විය. අනතුරින් පසු බරපතළ තුවාල  ලබා සිටි මව  කරවනැල්ල මුලික රෝහලට ඇතුළත් කර තිබූ අතර මෙම අනතුර නිසා ඇගේ කුස තුළ සිටි දරුවා මියගිය බවට පසුව වාර්තා විය.ත්‍රිරෝද රථයේ  රියදුරු ද බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි  පොලිසිය කියයි.  



 හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කිතුල්ගල ඉංගිරියාවත්ත ප්‍රදේශයේ දී පෙරේදා 20 වැනිදා සවස ත්‍රිරෝද රථයක් හා වෑන් රථයක් එකිනෙක ගැටී අනතුර සිදුව ඇත. ත්‍රීෙරා්ද රථයේ ගමන් කළ අයට මෙහිදී හානි සිදුවිය.
මෙවර පාසලේ පළමු ශ්‍රේණියට ඇතුළු වීමට සිටි වයස අවුරුදු 5 ක් වන  එම්.ඩී. යහාවි රුහාරා දැරිය එම ස්ථානයේදීම මියගියාය.
ඉංගිරියාවත්ත ප්‍රදේශය පදිංචි  ඇය සහ ඇගේ මව කිසියම් දෙයක් මිලට ගැනීම සඳහා ත්‍රීරෝද රියේ ගමන් කරමින් සිටි අතර වන්දනා ගමනකට ගොස් කෑගල්ල ප්‍රදේශය බලා  එමින් සිටි වෑන් රථයේ ඔවුන් ගමන් කළ ත්‍රී රෝද රිය ගැටී අනතුර සිදුවිය.
පස් හැවිරිදි දියණිය බරපතල තුවාල ලබා රෝහල් ගත කළ විට මියගිය අතර ගැබිනි කාන්තාවක වූ මවට අනතුර නිසා බොහෝ අපහසුතා ඇතිවූ බව කියැවේ. ඇය තවමත් කරවනැල්ල රෝහලේ ප්‍රතිකාර ලබන  බව පොලිසිය සඳහන් කරයි.
කුස තුළ සිටි දරුවා ද මියගොස් සිටි බව රෝහල් ආරංචි පවසා තිබුණි.  
 මෙම අනතුර නිසා වාහන දෙකටම දැඩි හානි සිදුව ඇතැයි පොලිසිය පවසයි.
මරණ පරීක්ෂණය   කරවනැල්ල රෝහලේ දී ඊයේ 21 වැනිදා සිදු කිරීමට නියමිතව තිබිණි.