The-criminal-who-cut-off-his-hands

මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේදී ඉකුත් 21 දා විදුලි කාර්මිකයකුගේ දෑත කපා, ඒ කොටස් රැගෙන පලාගොස් සිටි සැකකරු නීතිඥයකු මාර්ගයෙන් අධිකරණයට භාර වූ අතර ඔහු රඳවාගෙන ප්‍රශ්න කිරීමට ඔහුගේ නීතීඥයා විරුද්ධවූ පුවතක් අධිකරණයෙන් වාර්තා විය.
මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන තෙල්ගේ ඉසුරු ප්‍රියංකර පීරිස් (40) නමැති පුද්ගලයා
අත් කැපීමට ලක්වූ පුද්ගලයාගේ බිරිය සමග අනියම් ඇසුරක් පවත්වමින් තිබූ අතර ඊට සම්බන්ධ ආරවුලකදී මොහුට පොල්ලකින් ගැසූ පලිය ගන්නට අත්කපා දමා ඇති බව මින් ඉහත හෙළිව තිබුණි.


අත්අඩංගුවට ගැනීමට මොරටුව පොලිසිය විසින් කණ්ඩායම් තුනක් යොදවා තිබූ අතර සැකකරු නීතිඥයකු මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් විය.

සැකකරුට එරෙහිව බී වාර්තාවක් මඟින් අධිකරණයට කරුණු වාර්තා කළ පොලිසිය සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් ඉල්ලා සිටි අවස්තාවේදී සැකකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මධුරංග විජයරත්න සිය සේවාදායකයා රඳවාගෙන ප්‍රශ්න කිරීමට තමා විරුද්ධ බව මහේස්ත්‍රාත්වරයා හමුවේ කරුණු දක්වමින්, එසේ කළ හැක්කේ හෙරොයින් හෝ ත්‍රස්තවාදි පනත යටතේ බව අධිකරණයට දැන්වීය.

එම අවස්ථාවේදී මොරටු පොලිසියේ කොස්තාපල් 92383 ප්‍රනාන්දු අධිකරණය හමුවේ කරුණු දක්වමින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදනවලට අනුව පැය 48ක් රඳවා තබා ගැනීමට අවසර ඉල්ලා සිටියේය. සැකකරුට එරෙහිව අපරාධය සිදු වූ දිනට ආසන්න දිනකදී ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 317,318 බරපතළ තුවාල සිදු කිරීම, මිනීමැරීමට තැත් කිරීම යන වගන්ති යටතේ මොරටුව පොලිසිය විසින් බී වාර්තාවක් මඟින් අධිකරණයට කරුණු දක්වා තිබිණි.



ඉදිරිපත් වූ කරුණු සියල්ල සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා පැය 48ක් සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග ලබා දුන්නේය. සැකකරු තුවාලකරුගේ අත් දෙක කපා වෙන්කොට ඇති හෙයින් ඔහු රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවද පොලිසිය විසින් අධිකරණය හමුවේ කරුණු දැක්වූ අතර, මෙවැනි බරපතළ සිද්ධි සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශන සිදු කිරීමට හැකි නම් මෙවැනි අපරාධ වළකාලීමට එය හේතුවක් වන බවද මහේස්ත්‍රාත් උද්දාල සුවන්ඳුරුගොඩ පැවසීය.

ඒ අනුව සැක්කාර පුද්ගලයා ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත ගමගේ මහතා යටතේ පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම්ට නියමිතය. සැකකරු පැය 48කින් වැඩිදුර වාර්තා සමඟ නැවත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.