bandarawela-incident

බණ්ඩාරවෙල ප්‍රදේශයේ අගහිඟකමින් පෙළෙන පාසලක දරුවන්ට පාසල් උපකරණ නොමිලේ   බෙදා දීමට පැමිණි එංගලන්ත ජාතිකයකු පාසලේ දරුවන්, මවුපියන් සහ ගුරුවරුන් පාවිච්චි කරන ජංගම දුරකතන දැක තමා මවිතයට පත් වූ බව පැවැසීය.  තමන් පාවිච්චි කරන ජංගම දුරකතනවලට වඩා කීප ගුණයකින් අධික මිලකින් යුත් දුරකතන මෙම පිරිස අත තිබෙනු දැකීමෙන් මෙම පිරිසට එතරම් අගහිඟකමක් ඇතැයි සිතිය නොහැකි බව ඔහු උත්සව සභාව අමතමින් කියා සිටියේය.එම පාසල තෝරා දුන් හෝටල් කළමනාකරුට ද සිය අප්‍රසාදය පළ කළේය.

ශ්‍රී ලංකාව පත්ව ඇති වත්මන් තත්වය එරට ජනමාධ්‍ය මගින් දැක ඇති විදේශිකයන් පිරිසක් ජනතාව පෝලිම්වල සිටින අයුරු සහ දරුවන් ආහාර නොමැතිව විඳින පීඩාවන් සම්බන්ධයෙන් දැඩි ලෙස කම්පාවට පත්වූ බවද පවසා සිටියේය. ඒ අනුව ඔවුන් මෙරටට පැමිණීමට තීරණය කර ඇත්තේ එම දරුවන් වෙනුවෙන් කිසියම් උපකාරයක් කිරීමේ අරමුණින්ය.

ඔවුන් මෙරටට පැමිණීමට පෙර දන්නා හඳුනන බණ්ඩාර වෙල සංචාරක නිකේතනයේ කළමනාකරු දුරකතනයෙන් අමතා බණ්ඩාරවෙල ප්‍රදේශයේ ආර්ථික අපහසුකම් ඇති දරුවන් සිටින පාසලක් තෝරාගෙන පොත්පත් ඇතුළු පාසල් උපකරණ ලබාදීමට කැමැත්ත පළකර තිබේ. ඒ අනුව අඩු ආදායම් ලාභි මවුපියන්ගේ දරුවන් පිරිසක් තෝරා දෙන ලෙස හෝටලයේ කළමනාකරුගෙන් ඉල්ලා ඇත.

හෝටලේ කළමනාකරු ප්‍රදේශයේ අඩු පහසුකම් සහිත පාසලක් තෝරාගෙන එම පාසලේ විදුහල්පතිවරයා හමුවී කතා කර අඩු ආදායම් සහිත පාසල් දරුවන් සූදානම් කරන ලෙස විදුහල්පතිවරයාගෙන් ඉල්ලා තිබේ. ඒ අනුව විදුහල්පතිවරයා තම පාසලේ දරුවන්ට තෑගි බෝග රැගෙන එන විදේශිකයන් සතුටු කිරීමට චාම් කෙටි උත්සවයක් සූදානම් කළේය.

ඒ සඳහා පාසලේ දරුවන්ගේ නැටුම් කීපයක් ද සංවිධානය කෙරිණි. එංගලන්ත ජාතිකයෝ බණ්ඩාරවෙලට පැමිණි පසුදිනම පොත් පෑන් පාට පෙට්ටි වතුර බෝතල් පාසල් බෑග් ඇතුළු ලක්ෂ තුනකට වැඩි වටිනාකමින් යුත් පාසල් උපකරණ රැගෙන එම පාසලට පැමිණියහ. බුලත් හුරුලු දී මල් මාලා දමා මෙම සංචාරක පිරිස මහත් සතුටින් පාසලේ කුඩා දරු පිරිසක් විසින් පිළිගනු ලැබූහ.සංචාරක පිරිස ද හදපිරි සතුටින් දරුවන්ගේ හිස අත ගා ස්තුතිය  පළ කළහ. උත්සවය අරඹමින් විදුහල්පතිවරයා පිළිගැනීමේ කතා කළේය.

සංචාරකයන් සතුටු කිරීම පිණිස දරුවන්ගේ රංගන ඉදිරිපත් කළ අතර මවුපියන් තම ජංගම දුරකථනවලින් ළමයින්ගේ රංගන වීඩියෝ කරන අයුරු මෙම සංචාරකයෝ සතුටින් බලා සිටියහ.  දරුවන්ට පොත් පත් සඳහා වියදම් දැරූ එංගලන්ත ජාතික ව්‍යාපාරිකයා දරුවන්ගේ මවුපියන් පාවිච්චි කරන ජංගම දුරකතන  දැක මවිතයට පත්වී ඇත. ඇතැමුන් ළඟ රු. 75,000 ඇපල් ෆෝන් ද තිබෙනු දැකීමෙනි.  උත්සව අවස්ථාවේ එංගලන්ත ජාතිකයාට කෙටි කතාවක් සඳහා අවස්ථාව දීමට විදුහල්පතිවරයා කටයුතු කළේය. ඉංග්‍රීසි බසින් කළ කතාව පරිවර්තනය කිරීමට හෝටල් කළමනාකරුට සිදුවිය.විදේශ ජාතිකයා මෙසේ පැවැසීය.  

මෙම වැඩසටහන ගැන මා සතුටු වෙනවා. ඒ වගේම මම දුක් වෙනවා. මම හෝටල් කළමනාකරුට දැනුම් දුන්නේ ඉතා අඩු ආදායම්ලාභි නැති බැරි පවුල්වල මාපියන් සහ දරුවන් වෙත මෙම ද්‍රව්‍ය ලබා දීමට සූදානම් කරන්න අවශ්‍ය බවයි.

එහෙත් මම දැක්කා මෙම මාපියන් සහ දරුවන් පරිහරණය කරන ජංගම දුරකථන ඉතා මිල අධික ඒවා බව. මම පාවිච්චි කරන ජංගම දුරකතනයන් ඉතා අඩු මුදලට ගත් එකක්. (සිය දුරකතනය සභාවට පෙන්වයි)  මෙම ද්‍රව්‍ය ලබා ගැනීමට පැමිණි මාපියන් දරුවන් මිල මුදල් ඇති අය බව මෙමගින් මට හැඟෙනවා.

ලංකාවේ තරුණයන් ඉතා වටිනා ජංගම දුරකථන මෙන්ම රථවාහන ද පාවිච්චි කරන අයුරු මට දැක ගන්නට ලැබුණා.  ඒ වගේම මුහුණු පොත, යූ ටියුබ් වැනි දේවලට යොමුවී වටිනා කාලය අපතේ යවන අයුරු දැක ගන්නට ලැබුණා. ලංකාවේ සියලුම වයස් කාණ්ඩවලට අයත් ජනතාව ඒවාට හුරුවී සිටිනවා. ඇතැම් වයස් ගත කාන්තාවන් පවා මුහුණු පොතේ ක්‍රීඩාවල නිරත වෙමින් තම වටිනා කාලය වැය කිරීම ගැන ඉතාම කනගාටුයි. ජංගම දුරකථනයෙන් තම ජීවිතයේ වටිනා කාලය හිස් කිරීම පමණක් සිදු වෙනවා. මෙයින් අපට ගැනීමට ඇත්තේ හොඳ දේවල් පමණයි.

නොදන්නා දේවල් දැන ගැනීම අධ්‍යාපනය වැනි දේවලට යොමු වීම හැර අනවශ්‍ය දේවල් නරඹා තම වටිනා කාලය වැය කිරීම ලංකාවේ දකින්නට ලැබණු ඉතා සුලභ දර්ශනයක්.  මෙම ගෙනාපු තෑගි සියල්ලක්ම මේ දරුවන්ට මාපියන්ට බෙදා දෙනවා. එය මම කරන්නේ හරි සතුටින්. මේ දරුවන්ගේ මාපියන් ඇති හැකි අය බව මේ ජංගම දුරකථන දැකීමෙන් මට අවබෝධ වුණා. මේ මවුපියන්ට තම දරුවන්ට ඉතා හොඳ ආහාර වේලක් ඇඳුම් පැළඳුම් ලබාදීමට හැකියාව ඇති බව මට හැගෙනවා.  එංගලන්ත ජාතිකයා විනාඩි හතක කතාවක් පවත්වා දරුවන්ට බෙදා දීමට තිබූ තෑගි ඒ ආකාරයෙන්ම බෙදා දුන්නේය.  විදේශිකයාගේ කතාව ඇසු විදුහල්පතිවරයා සහ කළමනාකාරවරයා මුහුණට මුහුණ බලා ගත්හ.

කේ.ඩී. දේවප්‍රිය