A-rise-in-leprosy-cases-health-departments-warn

මෑතක සිට ශ්‍රී ලංකාවේ ලාදුරු රෝගීන් වාර්තාවීම වැඩිවෙමින් පවතින බැවින් ඊට අදාළ දැනුවත් කිරීමක් හා අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීමට උපදෙස් සමග සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය අද (21) මහජන දැනුම්දීමක් කර තිබේ.  ඔවුන් නිකුත් කර තිබූ නිවේදනය පහතින්,

ඔබේ ඇඟෙත් මෙවැනි ලප තියෙනවද?
මෙවැනි ලප කැලැල් ඔබේ සිරුරේ දුටුවහොත් ඔබ බොහෝ වෙලාවට සිතනු ඇත්තේ එය සුළු දද කුෂ්ඨ රෝගී තත්ත්වයක් හෝ අළුහම් තත්ත්වයක් ලෙස නොවේ ද? එයට හේතුව ලංකාව තුළ ලාදුරු නිසා හටගන්නා ලප කැලැල් අප නො දකිනා තරමටම රෝගය සාර්ථකව පාලනය කර තිබීමයි.

නමුත් මෑතක සිට ලංකාවේ ලාදුරු රෝගීන් වාර්තා වීම වැඩිවීමත් සමග, මෙවැනි ලප කැලැල් ලාදුරු රෝගය නිසා ද ඇතිවිය හැකි බව  යලිත් මතක් කර ගැනීම අත්‍යාවශ්‍ය වනවා.
ඉතින් එවැනි ලපයක් හෝ කැලලක් ඔබගේ සිරුරෙහි තිබුණහොත් තව දුරටත් අනිසි බියක් ඇති කර ගත යුතු වන්නේ නෑ. එය ලාදුරු රෝගී තත්ත්වයක් ලෙස තහවරු වූවහොත් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර ලංකාව තුළ කිසිදු ගැටළුවක් නොමැතිව ලබා ගැනීමට හැකියාව පවතිනවා. මෙහිදී වැදගත්ම කාරණය වන්නේ, රෝගය හඳුනාගත් වහාම නිසි ප්‍රතිකාර සඳහා හැකි ඉක්මනින් යොමු වීමයි.
ඔබට හෝ ඔබගේ සමීපතමයෙකුට සැක සහිත රෝග ලක්ෂණ ඇතිනම් ඉතා පහසුවෙන් ඒ පිළිබඳව සැක හැර දැනගැනීමටත් ලාදුරු මර්දන ව්‍යාපාරය හා සම්බන්ධ වෛද්‍යවරයෙකු මගින් වට්සැප් තාක්ෂණය හරහා ඔබට අවශ්‍ය උපදෙස් හා මගපෙන්වීම ලබා ගැනීමටත් දැන් ඔබට අවස්ථාව තිබෙනවා. ඒ සඳහා කල යුත්තේ, සැක සහිත ලප කැලලේ හෝ ගැටිත්තේ හොඳින් ආලෝකය පවතින ස්ථානයක දී ලබාගත් පැහැදිළි ඡායාරූපයක්, වයස, ස්ත්‍රී පුරුෂභාවය,ඔබ ජීවත්වන ප්‍රදේශය, ලපය හෝ කැලල පවත්නා කාලය  සහ ඒ ආශ්‍රිත වෙනත් රෝග ලක්ෂණ (කැසීම, රිදීම, හිරිගතිය ) ඇතුලත් කෙටි විස්තරයක් සමග ජාතික රෝහලේ මධ්‍යම ලාදුරු සායනයේ 0754088604 අංකය වෙත වට්සැප් පණිවිඩයක් මගින් යොමු කිරීම පමණයි.
සමෙහි ඇතිවන ලා පැහති ලප එකක් හෝ කිහිපයක්, සමෙන් ඉදිරියට නෙරා ආ ලප කැලැල්, සමෙහි ගැටිති හෝ ඝන වීම්, අත්/පා වල කල් ගත වූ සුව නොවන තුවාල මෙලෙස බාහිරෙන් දැකිය හැකි ලාදුරු රෝග ලක්ෂණ අතරින් ප්‍රධානයි.

විවිධ විකෘතිතා සහ ස්නායුක බලපැම් ඇතිකල හැකි ලාදුරු, මුල් අවස්ථාවේ ප්‍රතිකාර ගතහොත් සම්පූර්ණයෙන්ම සුවකරගත හැකි අතරම අන් අයට පැතිරීමත් ඉතා කෙටි කලකින්ම නවත්වාගන්නට හැකියාව තිබෙනවා.  රෝගය බෝවිය හැකි අවධියේ සිටිනා, ප්‍රතිකාර නොගන්නා ආසාදිතයින්ගේ ශ්වසන බිඳිති මගින් රෝග කාරක බැක්ටීරියාව නිරෝගී කෙනෙකුට සම්ප්‍රේෂණය වීමේ හැකියාව තිබෙනවා. ශ්‍රී ලංකාවේ වසරකට ලාදුරු රෝගීන් 1500ක් පමණ හඳුනා ගනු ලැබෙන අතර අතර ඉන් 40% ක් පමණ හමුවන්නේ බස්නාහිර පලාතෙන්. එමෙන්ම 15% රෝගීන් කුඩා දරුවන් බවත් අප සිහි තබාගත යුතුයි.
ඔබත් ඔබෙගේ සමීපතමයිනුත් ලාදුරු වසංගතයෙන් සුරැකෙනා අතරේම , රෝගය පැතිරීම වලක්වමින් ලාදුරු වලින් තොර රටක් බිහි කිරීමේ ක්‍රියාන්විතයට මේ තොරතුර බෙදා හැරීමෙන් පුරවැසියෙකු ලෙස ඔබත් දායක වනු ඇතැයි අප විශ්වාස කරනවා.