vimukthi-death

නැනෝ තාක්ෂණ ආයතනයේ විද්‍යාඥ විමුක්ති ප්‍රසාද් ජයවීර (37) මහතා ගෝනපල, කුඹුක ප්‍රදේශයේ අනාරක්ෂිත ලෙස දමා තිබූ මාර්ග බාධකයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් මියගොස් තිබුණි.

මං තීරු දෙකක් සහිත හොරණ කොළඹ මාර්ගයේ කුඹුක ප්‍රදේශයේ මැද දූපත අසල ගොඩ ගසා තිබූ අවශේෂ කොටස් අවට පමණක් අනාරක්ෂිත මාර්ග බාධක යොදා තිබූ අතර එම මාර්ග බාධකයට මීටර් කීපයක් ඈතින් ආලෝකයක් දැල්වීමට පියවර නොගැනීම මෙම මාරක අනතුර සිදුවීමට ආසන්න හේතුව බව පොලිසිය කියයි.


මියගිය විද්‍යාඥයා පැද වූ සුඛෝපභෝගී මෝටර් රථය යකඩවලින් සමන්විත මාර්ග බාධකයේ ගැටී එයත් සමඟ මීටර් 14 ක් ඉදිරියට ඇදී ගොස් අනතුරුව මෝටර් රථය පමණක් මීටර් දෙසියකට අධික දුරක් ඉදිරියට ධාවනය වී මැද දූපතේ ගැටී ඇතැයි පොලිසිය කියයි.

මෝටර් රථය මාර්ග බාධකයේ ගැටීමත් සමඟම එහි වායු බැලුන් දෙක ක්‍රියාත්මක වී ඇති අතර ඒ සමගම මෝටර් රථයේ අභ්‍යන්තරයේ යම් ලෝහමය කැබැල්ලක් මියගිය විද්‍යාඥයාගේ ගෙළ ප්‍රදේශයේ අභ්‍යන්තරයට කා වැදී බරපතළ තුවාල ලබා හොරණ  මූලික රෝහල වෙත  ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබුණි.


අනතුර සිදු වීමට විනාඩි කිහිපයට පෙර මියගිය විද්‍යාඥයා ඔහු සිටින ප්‍රදේශය දන්වා නිවසට ඇමතුමක් ලබාදී ඇතැයි ද නමුත් නිවසට පැමිණීමට ප්‍රමාද වූ බැවින් බිරිඳ විසින් පෙරලා දුරකතන ඇමතුමක් ලබාදී ඇති අතර ඊට ප්‍රතිචාර දක්වා තිබූ වෙනත් පුද්ගලයකු ඔහු අනතුරකට ලක්ව රෝහල් ගත කළ බවට පවසා තිබූ බවද පොලිසිය කියයි.  

වසර ගණනාවක් දරුවන් නොමැතිව සිට හා හා පුරා කියා බිරිය ලද කුළුඳුල් දරුවා වෙනුවෙන් පෙරේදා (4) පැවැත්වීමට නියමිතව තිබූ කිරි දානමය පිංකමට අවශ්‍ය නෙළුම් මල් රැගෙන ඒම සඳහා බණ්ඩාරගම බොල්ගොඩ තුන් බෝධිය වෙත ගොස් මල් රැගෙන නිවස කරා එමින් සිටියදී මෙම අනතුර වී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.



ගෝනපල,කුඹුක ප්‍රදේශයේ භූගත  අභ්‍යන්තර දුරකතන රැහැන් අඩංගු කුටීරයක් හාරා පෞද්ගලික සමාගමකින් ඉකුත් 3 වැනිදා නඩත්තු කටයුත්තක් සිදු කර එහි අවශේෂ කොටස් එම ස්ථානයෙන් ඉවත් නොකර මාර්ගය මැදම ගොඩ ගසා තිබීමද මෙම අනතුරට හේතුවක් වූ අතර නීතිය අනුව අවශ්‍ය ආලෝකය සපයා නොතිබීමද හේතුවක් විය. මාර්ග බාධකයට මීටර් කීපයක් ඈතින් ආලෝකයක් දැල්වීමට පියවර ගන්නා ලෙස දන්වා තිබුණි.
අනතුරට වගකිවයුතු බව කියන ටෙලිකොම් ආයතනයේ කොන්ත්‍රාත් සමාගම වැඩ පරීක්ෂකවරයෙක් පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
හොරණ මූලික රෝහලේ හදිසි මරණ පරීක්ෂක දිවයිනටම සාම විනිසුරු සුමේධ ගුණවර්ධන මහතා ඉදිරියේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබුණි.